අතුරුදන් පේරාදෙණියේ සිසුවා සොයා මහවැලි ගඟේ කිමිඳුම් මෙහෙයුමක්

0
375

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිවු වන වසරේ අධ්‍යාපනය ලබන අංජන කුලතුංග (23) නමැති සිසුවා පසුගිය 16 වන දා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ මවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහුගේ මවුපියන් පේරාදෙණිය පොලිසියට මෙසේ පසුගියදා 18දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව මේ වනවිට විශේෂ කිමිදුම් කණ්ඩායමක් මහවැලි ගඟේ සිසුවාගේ සිරුර ඇත්දැයි සෙවීමේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.

16 වන දා සිට ඇමැතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා සිසුවාගේ මවුපියන් ඒ පිළිබඳව නවාතැන්පොළේ හිමිකරුට දැනුම් දී තිබේ.

සිසුවා නවාතැන්ගෙන සිටි පෞද්ගලික ස්ථානයක කාමර පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ මහවැලි ගඟට පැන සියදිවි නසා ගන්නා බව සඳහන් ලිපියක් ද පොලිසියට භාර දී ඇත.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ මවුපියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 16 වන දා යින් පසු මෙම සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ හිතවතුන් ද පවසා තිබේ.

අදාළ නවාතැන්පොළේ මෙම සිසුවා තනිව නවාතැන්ගෙන සිට තිබෙන බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු මෙම සිසුවා මානසික ආතතියෙන් පෙළීම සම්බන්ධයෙන් කාලයක සිට ප්‍රතිකාර ලබාගෙන ඇති බව පැවසීය.

මීට සති කිහිපයකට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවෙක් මහවැලි ගඟට පැන සියදිවි නසා ගත් අතර එම සිසුවා ද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.