‍ෙදාඩංගොඩ පාසලකට ආ පිස්සු බල්ලෙක් සිසුන් සිවුදෙනකු හා පුද්ගලයකු සපා කාලා

0
8

‍ෙදාඩංගොඩ මිරිස්වත්ත  ජාතික පාසලේ දින හතක් පමණ රැඳී සිටි ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිවුදෙනකු සහ තවත් පුද්ගලයකු සපාකා ඇති බැවින් එම සුනඛයන්  ඝාතනය කිරීමේ සහ එන්නත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19දා) ආරම්භ කළ බව ‍ෙදාඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ‍ෙදාඩංගොඩ අඹගහකුඹුර ප්‍රදේශයේ සිසුවකු සමඟින් පාසලට පැමිණ ඇති මෙම සුනඛයා දින 7ක් පමණ පාසල තුළ රැඳී සිට ඇති බවත්, එහිදී  ළමුන් පිරිසක් සුනඛයාගේ සපාකෑම් සහ සීරීම්වලට ලක්ව ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව පාසලේ සේවකයකු එම සුනඛයා  අදාළ නිවෙසට රැගෙන ගොස් භාරදී ඇති අතර, ඊට දින දෙකකට පසු සුනඛයා මියගොස් තිබේ. සුනඛ හිස කොළඹ සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා පරීක්ෂා කිරීමේදී එම සුනඛයාට ජලභීතිකා රෝගය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත. ඒ බව ‍ෙදාඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය වෙතින් අදාළ විදුහල වෙත දැනුම් දී ඇති අතර සුනඛයාගේ  සපා කෑමට හෝ සීරීමට ලක්වූ අයවලුන් වේ නම් ඉතා ඉක්මනින් ළඟම ඇති ප්‍රධාන රජයේ රෝහලට ගොස් එන්නත්කරණය කර ගන්නා ලෙසද ලිඛිතව දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ‍ෙදාඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුගත් බුද්ධික නිරිඇල්ල මහතා මෙසේ පැවැසීය. එම සුනඛයාට ජලභීතිකා රෝගය ආසාදිත වී ඇති බවට තහවුරුව තිබෙනවා.  සත්ත්වයාගේ සපාකෑමට හෝ සීරීමට ලක්ව ඇති ළමුන් සිවුදෙනකු සහ වැඩිහිටියකු ප්‍රතිකාර සඳහා යොමුකළා. තවත් සපාකෑම් හෝ සීරීමවලට ලක්වූ අයවලුන් වේ නම් ළඟම ඇති ප්‍රධාන රජයේ රෝහලට වාර්තා කර මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් කරවා ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්නා. එයට අමතරව ප්‍රදේශයේ සුනඛයන් එන්නත් කිරීම සහ මියගිය  සුනඛයාගේ සපාකැමට ලක්වූ  සුනඛයන් ඝාතනය කිරීම පොලිසිය සමඟ එක්ව ආරම්භ කළා.”  

පොතුපිටිය – සුමිත් රණවක