ෆේස්බුක් සාදයට මත්පෙති රැගෙන ගිය සැකකාරිය රිමාන්ඩ්

0
13

අහංගම, කතළුව ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයකදී මත්පෙතිත් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරිය 27 වැනි දින දක්වා රිමාන්ඩ් කරන මෙන් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

සපුගස්තැන්න, දෙහිඇල්ලගම පදිංචි 26 හැවිරිදි කාන්තාවක් මෙසේ රිමාන්ඩ්ගත කරනු ලැබීය. ඉකුත් 18 වැනි දින රාත්‍රියේ සිට පසුදින අලුයම දක්වා මෙම  සාදය පැවැති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කොක්මාදුව කඳවුරේ නිලධාරීන් විසින් හෝටලය ඉදිරිපිට සිටි සැකකාරිය පරීක්‍ෂා කිරීමේදී මෙම මත්පෙති සොයා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අහංගම පොලිසියට භාරදී තිබිණි.

අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී.එච්. බන්දුල මහතාගේ උපදෙස් පරිදි සැරයන් අරුණ මහතා (15921) සමඟ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් පිරිසක් විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දීන්, අහංගම – එස්. දීයගහගේ