හොරෙන් ඉස්සූ ලක්‍ෂ 15ක පාපැදිත් එක්ක බස් කොන්‍ෙදාස්තර පොලිස් දැලේ

0
11

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක නිවාසවල තිබූ සහ නගරයේ  ස්වයංක්‍රිය  මුදල් ගනුදෙනු හුවමාරු යන්ත්‍ර අසල නවතා තැබූ පාපැදි  සොරකම් කළ අයකු රුපියල් ලක්ෂ 15කට වඩා අධික වටිනාකමින් යුතු පාපැදි සමඟ අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය කියයි.

වැලිගම, දෙණිපිටිය, පොල්වතුමෝදර, මිරිස්ස, මාතර, අකුරැස්ස වැනි ප්‍රදේශවලින් මෙම පා පැදි සොරා ගෙන තිබේ.

ඉන්ධන අර්බුදයත් සමඟ සාමාන්‍ය මිලට තිබූ පාපැදියක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ නිවාස සහ නගරයේ නතර කර තිබූ පාපැදි සොරකම් කිරීම අධික විය.

මෙහිදී උපකාරක පන්තිවලට යන ළමයින්ගේ මෙන්ම පොලිස් නිලධාරීන්ගේද රාජකාරි කටයුතුවලට යන අය නතර කර තබන පාපැදි මෙන්ම ස්වයංක්‍රිය මුදල් ගනුදෙනු හුවමාරු යන්ත්‍ර අසල නතර කර එම ගනුදෙනු කරන විට සොරා ගන්නා පාපැදි පිළිබඳ මාතර කොට්ඨාසයේ පොලිසිවලට පැමිණිලි ලැබී තිබිණි.

කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී. ප්‍රභාත් නිශාන්ත මහතාගේ උපදෙස් මත කොටවිල පොලිසියේ  නිලධාරීන් කණ්ඩායමක් මෙම පාපැදි සොරුන් අත්අඩංගුවට ගැනීමට යොදවා තිබූ අතර මෙහි දී ලැබුණු තොරතුරු අනුව රුපියල් ලක්ෂ පහළොවකට අධික පාපැදි සමඟ පුද්ගලයකු මෙසේ පෙරේදා කොටවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ප්‍රදේශයෙන් පාපැදි සොරකම් කරන අයුරු ප්‍රදේශයේ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ස්ථාන කිහිපයක සඟවා තිබුණු පාපැදි මෙලෙස සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි බස් කොන්‍ෙදාස්තරවරයෙකි.

සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී. ප්‍රභාත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක ඩිලාන් මධුශංක, උප පොලිස් පරීක්ෂක රංජිත්, උප පොලිස් පරීක්ෂක සුනිල්, පොලිස් සැරයන් සමරතුංග (28922), පොලිස් සැරයන් ප්‍රියංකර (35537), පොලිස් සැරයන් නිශාන්ත (56111), පොලිස් කොස්තාපල් ජයනාත් (78076), පොලිස් කොස්තාපල් කපිල (68157), පොලිස් කොස්තාපල්  සුගීෂ්වර (82428), කාන්තා පොලිස් කොස්තාපල් කුමාරි (12272) යන නිලධාරීන් වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

මාතර – උදය කුමාර රණවීර