සී.සී.සී. හා ටැමිල් යුනියන් ලකුණු සටහනේ පෙරමුණටම එයි

0
87

ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන ප්‍රමුඛ පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.සී.සී. හා ටැමිල් යුනියන් කණ්ඩායම් සමත්ව තිබේ. ‘ඒ’ හා ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග 5කට සහභාගි වී ඇති සී.සී.සී. පිල තරග දෙකක් ජයගෙන තරග 3ක් විසඳුමකින් තොරව අවසන් කර ලකුණු 72.34ක් ලබා පෙරමුණේ පසුවෙද්දී දෙවැනි ස්ථානයේ පසුවන එස්.එස්.සී. පිල තරග 5කට සහභාගි වී තරග දෙකක් ජයගෙන තරග 3ක් විසඳුමකින් තොරව අවසන් කරගනිමින් ලකුණු 61.66ක් ලබා සිටී.

තරග 4කට සහභාගි වී සිටින මුවර්ස් කණ්ඩායම තරග තුනක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් තෙවැනි තැන (ලකුණු 59.93) ලබාගනිද්දී පිළිවෙළින් කෝල්ට්ස්, රාගම සහ බී.ආර්.සී. කණ්ඩායම් සිවුවැනි, පස්වැනි හා හයවැනි ස්ථාන දිනා ඇත.

 ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ටැමිල් යුනියන් පිල තරග 5කට සහභාගි වී තරග තුනක් ජයගෙන තරග දෙකක් ජය පැරදුමකින් තොරව අවසන් කරගනිමින් (ලකුණු 78.06) පළමු තැන දිනාගනිද්දී චිලව් මේරියන්ස් පිල තරග 5කට සහභාගි වී තරග 5ම ජය පැරැදුමකින් තොරව අවසන් කරගනිමින් (ලකුණු 58.92) දෙවැනි තැනත්, තරග 5කට සහභාගි වී තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජය වී (ලකුණු 54.08) සිටින බදුරලිය පිලට තෙවැනි තැන හිමිව තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා පිලට සිවුවැනි තැනත්, එන්.සී.සී. හා සැරසන්ස් කණ්ඩායම් පිළිවෙළින් පස්වැනි හා හයවැනි තැනත් දිනා සිටී.

කෙසේ වෙතත් මෙම තරගාවලියේදී තරග 5කදී ශතක 5ක් හා අර්ධ ශතක 2ක්ද සමඟින් ලකුණු 925ක් ලබා සිටින (වැඩිම ලකුණු 300 නොදැවී) රාගම පිලේ නිෂාන් මධුෂ්ක පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙද්දී ශතක 4ක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකණු 601ක් ලබා සිටින එස්.එස්.සී. පිලේ නුවනිඳු ප්‍රනාන්දුට දෙවැනි තැනත්, ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 521ක් ලබා සිටින සී.සී.සී. පිලේ කමිඳු මෙන්ඩිස්ට තෙවැනි තැනත් හිමිව තිබීමද කැපී පෙනේ.

තරග 5කදී කඩුලු 42ක් ලබා සිටින ශ්‍රී ලංකා යුද හමුදා පිලේ  කෞමල් නානායක්කාර පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අතර, කඩුලු 35ක් ලබා සිටින එස්.එස්.සී. පිලේ ප්‍රභාත් ජයසූරියට දෙවැනි තැනත්, කඩුලු 34ක් ලබා සිටින බදුරලිය පිලේ චලන ද සිල්වාට තෙවැනි තැනත් හිමිවීමද විශේෂත්වයකි.

මේ අතර පසුගියදා අවසන් වූ තරගවලදී නුගේගොඩ පිල ලකුණු 106කින් පරාජය කළ ශ්‍රී ලංකා නාවික හමුදා පිලත්, සැරසන්ස් පිල කඩුලු 4කින් පැරැදවූ ටැමිල් යුනියන් පිලත්, බී.ආර්. සී. පිල 113කින් පැරැදවූ එස්.එස්.සී. පිලත්, කළුතර පිල ඉනිමකින් හා ලකුණු 1කින් පැරැදවූ ගාලු පිලත් ජයග්‍රහණ වාර්තා කර තිබිණි.

එම තරගවලදී පොලිස් පිලේ හේෂාන් ධනුෂ්ක 233,  එන්.සී.සී. පිලේ සඳුන් වීරක්කොඩි (150), සහන් ආරච්චිගේ (110), නිගම්බු පිලේ ඇන්ජෙලෝ ජයසිංහ (123) සහ ජටින් සක්සේනා (111), ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම (119) සහ මෝවින් සුභසිංහ (114), රාගම පිලේ නිෂාන් මධුෂ්ක (125) සහ යොහාන් ලියනගේ (106),  ගාලු පිලේ ශලිත් ප්‍රනාන්දු (133), යුද හමුදා පිලේ ෂෙහාන් ප්‍රනාන්දු (166), තුලින ඩිල්ෂාන් (111), ගිහාන් කෝරලගේ (113), කෝල්ට්ස් පිලේ හෂාන් දුමිඳු නොදැවී (138), බදුරලිය පිලේ ෂහීඩ් මන්සූර් (113), චිලව් මේරියන්ස් පිලේ රවීන් යසස් නොදැවී (118) ශතක ලබාගත්හ.

එසේම නාවික හමුදාවේ නවින් කවිකාර (6/100 හා 6/49), ගාලු පිලේ රහූ ෂර්මා (5/52 හා 6/56), එස්.එස්.සී. පිලේ ප්‍රභාත් ජයසූරිය (6/71 හා 5/110), සෙබස්තියනයිට් පිලේ තරිඳු රත්නායක (5/93 හා 5/116), සී.සී.සී. පිලේ සොනාල් දිනූෂ (8/67), බී.ආර්.සී. පිලේ තිලකරත්න සම්පත් (7/77), මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් (6/65), නුගේගොඩ පිලේ සුවත් මෙන්ඩිස් (5/49), කෝල්ට්ස් පිලේ දුනිත් වෙල්ලාලගේ (5/90) ගුවන් හමුදාවේ දුලාංජන මෙන්ඩිස් (5/103), එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය (6/121), නිගම්බු පිලේ උපුල් ඉන්ද්‍රසිරි (5/143) පන්දුවෙන් දස්කම් දැක්වීය.   

විචිත්‍ර වීරසිංහ