සැමියා බීලා මට පහරදෙන දුකට පුතා දිවි නසා ගත්තා

0
27

“මම මහ ගෙදර නිදාගෙන ඉන්න කොට ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්න කෙනෙක් අපේ ගෙවල් පැත්තේ කෑ ගහනවා ඇහුණා. පස්සේ මම ගෙදරට දුවලා ගියා. යනකොට අපේ ගෙදර අසල්වැසියන් පිරිසක් හිටියා මම දැක්කා. පස්සේ අසල්වැසි පදිංචිවෙලා ඉන්න කෙනෙක් කිව්වා දරුවා ‍ෙදාරවල් වහගෙන ගේ ඇතුළේ ඉන්නවා කියලා. පස්සේ මම එයාට කිව්වා පුතාගේ කාමරයේ ජනේලයේ පියනක් ගලවලා ඇතුළට ගිහින් බලන්න කියලා” යැයි ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබුණු උසස් පෙළ ශිෂ්‍යයාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ මව පැවැසුවාය.

මෙලෙස සිය දිවි හානි කරගෙන තිබුණේ තෝලංගමුව පාසලක  මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිය. ගලපිටමඩ පොලිස් වසමේ කිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. මෙම පාසල් ශිෂ්‍යයාගේ පියා කලක සිට සිය මවට පහර දෙන බව කියන අතර ඉකුත් 15 වැනිදා රාත්‍රි මවට දර පොල්ලකින් පහරදීම නිසා කනස්සල්ලට පත් ශිෂ්‍යයා නිවෙසේ කාමරයේ ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබූ බව කියයි.

ඔහුගේ හදිසි මරණ පරීක්ෂණය ඉකුත් 16 වැනිදා වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි. ගලපිටමඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කීර්ති මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් රාජපක්ෂ (90365) විමර්ශන කටයුතු කෙරිණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් ශිෂ්‍යයාගේ මව,

“සැමියා හැමදාම මත්පැන් පානය කරලා ගෙදර එනවා. ගෙදර ආපුහාම මා සමඟ රණ්ඩු වෙනවා. මට ගහනවා. ඉකුත් 15 වැනිදා අසල්වැසි පදිංචිව සිටින මහතුන් ඇවිල්ලා දර පළලා දුන්නා. දර පළපු මහතුන්ට සල්ලි දෙන්න ඕනෑ හින්දා මම සැමියාගේ දුරකථනයට ඇමැතුමක් ගත්තා කොහෙද ඉන්නේ කියලා බලන්න. පස්සේ සැමියා කිව්වා මම කොටියාකුඹුරේ මත්තමගොඩ අරක්කු බොනවා කියලා. පස්සේ මම දුරකථනය තිබ්බා.

සවස 5.30ට පමණ සැමියා බීලා ගෙදර ආවා. පස්සේ සැමියා නිවෙසේ කුස්සියේ තිබුණු සම්බෝල කොටන්න ගන්න පොඩි වංගෙඩියෙන් මට දමලා ගැහුවා. ඒක මට වැදුණේ නෑ. මම පස්ස ‍ෙදාරෙන් එළියට දුවලා ගියා. යනකොට මහතුන් පළලා තිබුණු දර පොල්ලකින් මට ගැහුවා. දර ලීයෙන් මට ගහනවා මගේ මල්ලිගේ බිරිය එයාගේ ගෙදර ඉඳලා දැක්කා. දර ලීයෙන් ගැහුවාට මට වැදුණේ නෑ. වත්ත පහළට දුවලා ගිහිල්ලා හැංගිලා ඉඳලා 119 හදිසි දුරකථන අංකයට කතා කරලා කිව්වා. පස්සේ මම දැක්කා සැමියා පාර දිගේ පල්ලෙහාට යනවා.

රාත්‍රි 8ට පමණ ගලපිටමඩ පොලිසියෙන් ගෙදරට ආවා. පුතා විතරයි ගෙදර හිටියේ. පස්සේ පුතාගෙන් මොකද කියලා පොලිසිය අහනවා මට ඇහුණා. පුතා විස්තර කියනවා මම දැක්කා. පස්සේ මම ගෙදරට ගියා. මගෙනුත් පොලිසිය ප්‍රකාශයක් ගත්තා. පස්සේ පොලිසිය අපේ ගෙදරින් ගියා. මම පුතාට කිව්වා ඔයා කාමරයට ගිහිල්ලා නිදා ගන්න මම මහ ගෙදරට ගිහිල්ලා නිදා ගන්නවා කියලා මම ගියා.

සිද්ධියෙන් පස්සේ මම කෑ ගැහුවා. මගේ කෑ ගැසීමට අසල්වැසියන් පිරුණා. එච්චරයි මට මතක තියෙන්නේ. පස්සේ 16 වැනිදා මමයි සැමියයි කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා නිලංග පුතාගේ දේහය හඳුනාගෙන මරණ පරීක්ෂණයට පෙනී සිටියා. මට මේ මරණය ගැන සැකයක් නෑ. සැමියා මට නිතරම කරදර කරන නිසා වේදනාවට පත්වෙලා ගෙල වැලලාගෙන මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා” යැයි මව පැවැසුවාය.

මියගිය පාසල් ශිෂ්‍යයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරංග කුලතුංග මහතා විසින් පවත්වන ලද අතර ගෙල වැලලාගෙන කර ගත් හදිසි මරණයක් බවට වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා පාසල් ශිෂ්‍යයාගේ මවුපියන් හට දැන්විය.

දමුණුපොළ – චමින්ද ජයලත්