සන්නිවේදන කුලුනුවල කෝටි 3 1/2ක බැටරි සොරකමට 5ක් අත්අඩංගුවේ

0
22

දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි 138ක් සොරකම් කළ සැකකරුවන් පස්දෙනෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හක්මන, තංගල්ල සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සිට 30 දක්වා වන වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි. හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි දුරකථන සන්නිවේදන කුලුනුවලින් මෙම බැටරි සොරකම් කර ඇතැයි අනාවරණය වී තිබේ. මේවායේ වටිනාකම රුපියල් කෝටි තුනහමාරක් පමණ වන බව පොලිසිය කියයි.

සොරකම් කරන ලද බැටරිවලින් කොටසක් අම්බලන්තොට, මැලේකොලනිය, වැලිගම සහ කුඩාවැල්ල යන ප්‍රදේශවලට අලෙවි කර ඇතැයිද ඒවා බස් රථ, බෝට්ටු සඳහාද කොටසක් ඊයම් සඳහාද අලෙවි කර ඇතැයිද තොරතුරු සොයාගෙන තිබිණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අයත් බව කියන ත්‍රිරෝද රථයක් සහ කුලී පදනම මත ලබාගත් කුඩා ලොරි රථයක් සහ වෑන් රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේතුංග, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමරත්න ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

තංගල්ල – සහම්පති මානගේ