ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් මෙවර ගන්නා ජිනීවා යෝජනා තීරණාත්මකයි

0
24

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් ඡන්දය දීමේ අතීත රටාවන් ගැඹුරින් අධ්‍යයනය කළේ නම් අද තිබෙන තත්ත්වය වෙනස් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා” යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

තමන් එම රටවල් ඡන්දය දීමේ අතීත රටාවල් අධ්‍යයනය කළ බවත් ඒ ගැන නොකියන්නේ තම අදහස් දැක්වීම් හරහා ලබාගත හැකිව තිබූ ඡන්දයක් නැතිකර ගත්තා යැයි තමන්ට චෝදනා එල්ල විය හැකි නිසා යැයිද හෙතෙම පැවැසීය.

ඔහු මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කා‍ර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

“ඒ රටවල නම් නොකියන්නේ අපේ අදහස් දැක්වීම් හරහා ලබා ගන්න තිබුණු ඡන්දයක් නැතිකර ගත්තා කියලා චෝදනාවක් එල්ල විය හැකි නිසා. ඇත්තෙන්ම අද තිබෙන තත්ත්වය වෙනස් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා.  නිදසුනක් ලෙස 2021දී යුක්රේනය යෝජනාවට පක්ෂවත් රුසියාව යෝජනාවට විරුද්ධවත් ඡන්දය දුන්නා. නමුත් යුක්රේන – රුසියානු යුද්ධය පිළිබඳ යෝජනාවේදී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ බව සිහිපත් කරලා යුක්රේනයට ඡන්දය දීමෙන් වැළැකී සිටින තැනකට තල්ලුකර ගන්න අපට අවස්ථාව තිබෙනවා. යුද්ධයකට මැදිවී කාගේත් උදවු අවශ්‍ය මොහොතක යුක්රේනය පැත්තක් නොගෙන ඉන්න කැමැති වේවි.

රටක් අමාරුවේ වැටුණු වෙලාවක අසරණ වූ වෙලාවක අයුතු ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ දැරීම ඉතාම අසාධාරණ හා අශීලාචාර ක්‍රියාවක්  බව ජාත්‍යන්තරයට කියා සිටින්නට කැමැති බවද හෙතෙම සඳහන් කළේය.

“2012 සිට ශ්‍රී  ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර තීරණාත්මකයි.  මෙවර සමුළුවේදී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසරවලදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා.  වෙනදා යෝජනාව සම්මත වී එතැනින් කතාව ඉවරයි. 

නමුත් මෙවර එවැනි යෝජනාවක් ඉහළ වැඩි ඡන්දයකින් සම්මත වුවහොත් එහි සඳහන් කරුණු   ලංකාවට ආධාර ලබාදීමේ කොන්දේසි බවට පත්කිරීමේ අවදානමක් තිබෙනවා.

මානව හිමිකම් සභාවේ සාමාජිකයන් 47යි.  එයින් තුනෙන් එකක් සෑම වසරකම අලුතින් පත් වෙනවා. ඒ ඒ රටවල් ලංකාවට එරෙහිව පෙර වසරවලදී සම්මත වුණු යෝජනාවලදී ඡන්දය දුන් ආකාරයත් ලංකාව පිළිබඳ මීට පෙර ඡන්ද දී නැති රටවල් වෙනත් ඡන්දවලදී කාට පක්ෂවද කටයුතු කළේ කියන කාරණයත් අධ්‍යයනය කළාම මෙවර ඡන්දය පිළිබඳ අදහසක් අපට ඇති කර ගන්න පුළුවන්. 

2021දී ලංකාවට එරෙහිව සම්මත වුණු යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබෙන විට විරුද්ධව ලැබුණේ 11යි. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා. එදා ඡන්දය දුන් රටවල් 2/3ක් තවමත් සභාවේ ඉන්නවා. ඒ වගේම ඉන්දියාව, ආර්ජන්ටිනාව, එරිත්‍රියාව සහ සෝමාලියාව මේ වසරේදී සාමාජිකත්වය අහිමි වුණත් නැවත පත්වී තිබෙනවා. 2021දී යෝජනාවට පක්ෂ වුණු රටවල් 8ක් විරුද්ධ වුණු රටවල් 2ක් සහ ඡන්දය දීමෙන් වැළැකී සිටි රටවල් 4ක් මෙවර සභාව තුළ නෑ.

අපේ අධ්‍යයනය අනුව මෙවර යෝජනාවට පක්ෂව ඡන්ද 24ක්ද විරුද්ධව 11ක්ද ලැබෙන විට රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ඉඩ තිබෙනවා.

1997දී ආසියානු මූල්‍ය අර්බුදය අවස්ථාවේ ඉන්දුනීසියාවට ආධාර ලබාදීමට බටහිර ප්‍රජාවත් ජාත්‍යන්තර ආයතනත් දේශපාලන කොන්දේසි දැම්මා. නැඟෙනහිර තිමෝරයට නිදහස ලබාදීමත් අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය ලබාදීමත් ඒ අතර වුණා. ඉන්දුනීසියාව කැඩී බිඳී යනවාට විරුද්ධව සිටි ජනතාව නැඟෙනහිර තිමෝරයට වෙන් වී යන්න ඉඩදී හරි අපට කන්න දීපල්ලා කියා පෙළපාළි ගියා. ඒ යෝජනාව වෙනුවෙන් පෙනී සිටි මෙඝාවති සුකර්ණෝ දැවැන්ත ජන වරමකින් ජනාධිපති වුණා.

හැබැයි මේ සිදුවීමේ අවදානම අපි කලින්ම දැක්කා. ඉන්දුනීසියානු උදාහරණය අමාත්‍ය මණ්ඩලය තුළ කියමින්, මාධ්‍ය හමුවල කියමින්, ශ්‍රී  ලංකාව ආණ්ඩුව විසින් සිතාමතාම ආර්ථික අර්බුදයකට ගෙන යනවා. මේ ආර්ථික අර්බුදයකට ගෙනයෑමේ යටි අරමුණ වන්නේ රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණා දැමීමත් ශ්‍රී  ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ ශ්‍රී  ලංකාව කැබලි කිරීමේ බටහිර න්‍යාය පත්‍රයට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් බව අපි පෙන්වා දුන්නා.

නමුත් අවාසනාවකට ආණ්ඩුවේ පාලකයෝ මීට ඇහුම්කන් දුන්නේ නෑ. අපි අනතුරු අඟවපු ඒ බියකරු සිහිනය සැබෑ වෙමින් පවතිනවා.” යැයිද ඔහු සඳහන් කළේය.  

විනීතා එම්. ගමගේ