ශ්‍රී ලංකාවට අනිත් රටවල් ලෙහෙසියෙන්ම  දණගස්සන්න පුළුවන්

0
43

පසුගියදා නිමා වූ ආසියානු කුසලානයේදී ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් අතිශෝක්තියෙන් වර්ණනා කළවුන්ට ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් විසින් බරපතල අතුල්පහරක් එල්ල කළ බව ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසින් සැළකෙන සුනිල් ගවස්කාර් පවසා තිබිණි.

ඒ අනුව ඉන්දීය ප්‍රධාන පෙලේ පුවත්පතක් සමඟින් සම්මුඛ සාකච්ඡාවක එක්වෙමින් ගවස්කාර් මේ බව සඳහන් කර තිබූ අතර, එහිදී තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා තිබුණේ මෙවැන්නකි. “ඉන්දීය පිල සහ පාකිස්තාන කණ්ඩායම ආසියානු කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි තත්ත්වයක සිටියා. සෑම දෙනාම කතා කළේ පාකිස්තානය සහ ඉන්දියාව ගැන පමණයි.

එසේ තිබියදීත් ඉන්දියානුවන්ට පමණක් දෙවැනි වෙමින් 6 වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී  ලංකාව සමත් වුණා වගේම කිසිදු ලෙසකින්වත් ශ්‍රී  ලංකාව වැනි කණ්ඩායමක් අවතක්සේරු කිරීම සිදු නොකළ යුතුයි. කෙසේ වෙතත් ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා බවට පුරෝකථනය කරමින් ප්‍රකාශ නිකුත් කළ සියල්ලන්ට අගනා අතුල් පහරක් එල්ල කිරීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.‍ෙ

එසේම ශ්‍රී  ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ද මෙහිදී පවසා තිබූ ගවස්කාර් “ආසියාන කුසලානය හෝ එහි අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කිරීම පමණක් මෙහිදී ශ්‍රී  ලංකාවේ අවසන් ඉලක්කය නොවූ බවත් මා විශ්වාස කරනවා. ඔවුන් ලෝක කුසලානය ජය ගැනීම ගැනත් අවධානය යොමු කර ඇතිවාට සැක නැහැ. එසේම ආසියානු කුසලාන අවසන් තරගයේදී පාකිස්තාන පරාජය කරමින් ලද ජය ශ්‍රී  ලංකාවට ලෝක කුසලානය කෙරෙහි සුවිශේෂී ශක්තියක් සපයනු ඇති බවත් නොරහසකි. ඉන්දියාව සහ පාකිස්තානය පරාජය කළ කණ්ඩායමකට ක්‍රිකට් ලොව සෙසු රටවල් පහසුවෙන් දණගැස්වීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ලෝක කුසලානයේදී අවසන් තරග වටය වෙත පිවිසීමට නම් අවම වශයෙන් ඔවුන්ට මූලික වටයේ තරග 5න් 4ක් ජයගත යුතුයි.” යනුවෙන් පවසා තිබිණි.

 සටහන – ගමිත දෙහිපිටිය