වෙරි වූ මේජර්ගේ ප්‍රහාරයෙන් පදවිය වාරි බංගලාවේ භාරකරු රෝහලේ

0
13

ශ්‍රී  ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ මේජර්වරයකු සිදුකළ. පහරදීමක් හේතුවෙන් පදවිය ජලාශයේ වාරිමාර්ග සංචාරක බංගලාවේ භාරකරු ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

පදවිය ජලාශයේ වාරිමාර්ග සංචාරක බංගලාවට පසුගිය 17 වැනිදා පැමිණ ඇති මෙම යුද හමුදා කමාන්ඩෝ මේජර්වරයා ඇතුළු පිරිමි සිවුදෙනකු සහ කාන්තාවන් පස්දෙනකු එහි මත්පැන් සාදයක් පවත්වා ඇති බවට වාර්තා වේ. එම සාදය පැවැත්වෙන අතරතුර සංචාරක බංගලාවේ ජල සැපයුම අඩාලවීම හේතුවෙන් කමාන්ඩෝ මේජර් බව කියන පුද්ගලයා සංචාරක බංගලා භාරකරුට බැන වැදී ඇති අතර පසුව එය බහින්බස් වීමක් දක්වා දුරදිග යෑමෙන් අනතුරුව මේජර්වරයා කොස්සකින් සහ අතින් පයින් බංගලාව භාරකරුට පහරදී තිබේ.

පසුව සංචාරක බංගලා භාරකරු එම්. සමන් කුමාර මහතා එදිනම පදවිය මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර එවනු ලැබ තිබේ.

මෙම සැකකාර මේජර්වරයා ඇතුළු පිරිසට පදවිය වාරිමාර්ග සංචාරක බංගලාව වෙන්කරදී ඇත්තේ පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ සේවය කරන කළමනාකරණ සේවා නිලධාරිනියක් බව වාර්තා වේ. මෙම සංචාරක බංගලාව යමකුට වෙන්කරවා ගැනීමට අවශ්‍ය නම් එය සිදුකළ යුතු විධිමත් ක්‍රමවේදය වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය හරහා වෙන්කරවා ගැනීමය. එහෙත් මෙදින හමුදා මේජර්වරයා ඇතුළු පිරිසට සංචාරක බංගලාව වෙන්කරදී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බවද වාර්තා වේ.

මෙම පහරදීම සිදුකළ බව කියන සැකකාර යුද හමුදා කමාන්ඩෝ සෙබළා හෝ වෙනත් කිසිවකු මෙතෙක් පදවිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා සඳහන් කළේ මාධ්‍ය විමසන තුරු තමන් එවැන්නක් දැන නොසිටි බවය.

කෙසේ වෙතත් අදාළ පහරදීමට සම්බන්ධ සියලු සැකකරුවන් තරාතිරම නොබලා නොපමාව අත්අඩංගුවට ගන්නා ලෙස පදවිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කරන බවටද ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහතික විය.

මේ අතර මෙම සාදය පැවැති ඉකුත් 17දා මත්පැන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නැවත මත්පැන් රැගෙන ඒමට  පදවිය නගරයට ගොස් ආපසු පැමිණෙමින් සිටි සැකකාර මේජර්වරයා පැදවූ බව කියන වාහනය පදවිය ජලාශය අසලදී කණුවක ගැටීමෙන් එම කණුවට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ සහකාර ඉන්ජිනේරු සාන්ත මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා යටතේ පාලනය වන පදවිය සංචාරක වාරිමාර්ග බංගලාවේ භාරකරුට පහරදීමක් සිදුව ඇති බවට තමන්ට වාර්තාවී ඇති බවයි. තමා නිවාඩු ලබා සිටින බැවින් කාර්යාලයට ගිය විගස  ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කීවේය.

සැකකාර මේජර්වරයා බීමත්ව පැදවූ වාහනයක් හැපීමෙන් පදවිය ජලාශයේ සොරොව්ව අසල කණුවකට  හානි සිදුව ඇති බව සත්‍ය දැයි විමසූ විට ඉන්ජිනේරුවරයා සඳහන් කළේ එය සත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. සැකකාර මේජර්වරයා ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සංචාරක බංගලාවේ දේපළ කිහිපයකට හානි සිදුව ඇති බවටද ඉන්ජිනේරු ශාන්ත මහතා තවදුරටත් සඳහන් කළේය.

එදින සාදය සඳහා මෙම සංචාරක බංගලාව පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ කළමනාකාරිනිය මඟින් වෙන්කරවාගෙන පිටස්තර පාර්ශ්වයකට බංගලාව ලබාදී ඇත්තේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසූ විට වාරිමාර්ග ඉන්ජිනේරුවරයා ඊට පැහැදිලි පිළිතුරක් නොදුන්නේය.

මේ අතර මෙම සංචාරක බංගලාව කුමන පුද්ගලයෙක් වෙන්කරවා ගත්තද ඊට අදාළ අනුමැතිය සහිත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලිපියක් සංචාරක බංගලා භාරකරුට ලබාදිය යුතු වුවද මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවද වාර්තා වේ.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස