වතුර පිරෙන කටුමැටි පැලේ මාස අටේ දියණිය එක්ක ඉන්න අමාරුයි

0
20

වයස මාස 8ක කිරිකැටි දියණියක සමඟ ඉතා අනාරක්‍ෂිතව අගහිඟකම් රැසක් මැද කටුමැටි පැලක අසරණ පවුලක් ජීවත් වෙයි. ඔවුන්ට වැසිකිළියක් නොමැතිකම නිසා නිවෙසට යාබදව වළක් කපා වළ මත ලී දමා වැටහිර ලී සිටුවා සාරි ඇද එහි වට ආවරණය කර ඇති අතර ඊට වහලක්ද නැත. වැසි දින නිවෙසේ ඇතුළත දිය උල්පත් මතුවන විට ලෑලි දමා බිම ඇවිද යන ඔවුහු හරිහමන් නින්දක් නොමැතිව ජීවත් වෙති.

මේ අසරණ පවුලේ පොල් ගස් නඟින 33 හැවිරිදි සංජයට නිවෙසක් සෑදීම සිහිනයකි. හෙම්මාතගම, බලත්ගමුව ප්‍රදේශයේ ජීවත්වන මෙම අසරණ පවුලේ අය අප එම නිවෙසට යන විට දහවල් ආහාර ගැනීමට නොහැකි නිසා මිදුලේ ළිප්ගල් තුනක් මත තේ සකස් කරන්නට මුට්ටියක් ළිප තබා තිබෙනු දැකගත හැකි විය. මෙම කටුමැටි නිවෙසේ මුළුතැන්ගෙයක් නොමැති නිසා මිදුලේ උයන පිහන කටයුතු කරන අතර බොහෝ අවස්ථාවල දෛනිකව කෑම වේල් තුනෙන් දෙකක් ගන්නා අවස්ථා වැඩි බව 21 හැවිරිදි මහේෂිකා අපට කීවාය.

වැසි දිනවලදී කඩයෙන් ගෙන හෝ අසල්වැසියන් ගෙන එන කෑම වේලකින් පමණක් කුසගින්න නිවා ගනියි. නිවෙසට ලබා ගත් විදුලිය විසන්ධි කර තිබුණේ විදුලි බිල ගෙවීමට පවා පවතින ආර්ථික අර්බුදය ගැටලුවක් වූ නිසාය. මොවුන්ට නිදා ගැනීමට ඇඳක් නොමැති නිසා ඇඳක් ආකාරයට වැටහිර ලීවලින් සකස් කර ඊට කාඩ්බෝඩ් දමා තිබේ. අඩි 10ක පමණ වපසරියක් ඇතුළත ඉටිකොළවලින් වෙන්කර ඇති කාමරය වැනි කොටසේ එම ඇඳ ඇත.

නිවෙස අනාරක්‍ෂිතව ඇත. නිවෙස   ආරක්‍ෂිතව වසා ගැනීමට ‍ෙදාරක් නොමැති අතර මේ වන විට දණ ගාන්න බිමට බසින්නට උත්සාහ කරන මාස 10ක් වන දියණිය සීතල මැටි පොළවේ ඉටිරෙදි යොදා ඇති කොටසේ සිටියි. ඇතැම් අවස්ථාවලදී කටුමැටි නිවෙසේ මැටි ගසන්නට යොදා ඇති ලීවලින් අනතුරු වන නිසා දියණියගේ මවට දියණිය දෙස නොවැසිල්ලෙන් බලා සිටින්නට සිදුවී ඇත.

2018 වසරේ විවාහ වී ඇති මේ දෙදෙනා බලත්ගමුවේ පදිංචි සංජය කුමාරතුංග තරුණ මහතාගේ නිවෙසට පැමිණ ඇත්තේ සංජය මහතා ජීවත්වන මෙම කටුමැටි නිවෙසටයි. සංජය සමඟ විවාහ වී සිටින 21 හැවිරිදි මහේෂිකා සෙව්වන්දි රූපසිංහ පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ තරුණියකි. ගොයම් කැපීමට ගිය අවස්ථාවේ විවාහ යෝජනාවකින් දෙදෙනා විවාහ වී ඇත. සංජයට සහෝදරයන් සිටියත් අද වන විට ඔවුන් විවාහ වී රජරට ප්‍රදේශයේ ජීවත්වන අතර සංජයගේ පියා ජීවතුන් අතර නැත. මව කුඩා කාලයේදීම වෙනත් විවාහයක් කරගෙන ගොස් ඇති බව සංජය පවසයි. සංජයගේ සහෝදරයන්ටද සංජයට සලකන්නට හැකියාවක් නොමැති අතර දැනට විවාහ වී සිටින බිරියගේ පවුලේ අයටත් ඔවුන්ට සලකන්නට හැකියාවක්ද නැත. ඔවුහුද ඒ තරම් අසරණකමකින් ජීවත් වෙති.

දැනට රජයෙන් කියා ලැබෙන්නේ සමෘද්ධිය පමණි. ජීවත් වීමට දරුවාට අවශ්‍ය කෑමබීම බෙහෙත් හේත් අරන් දෙන්නට සංජය පොල් ගස් නැඟ උපයන මුදල ප්‍රමාණවත් නොවෙයි. රටේ පවතින ආර්ථික අර්බුදය නිසා මේ දිනවල පොල්ගස් නැඟීම සහ වෙනත් කුලී වැඩ නොමැත. බොහෝ අවස්ථාවල ගස් නැඟීම පමණක් සංජය රැකියාව කරගෙන ඇත්තේ බිරියට තම දරුවා තනිවම බලා ගැනීමට නොහැකි නිසාය. උයන පිහන කටයුතු දරුවා සමඟ කර ගැනීමට නොහැකි අතර සංජයටද දවසේ වැඩි කාලයක් මේ සඳහා වෙන් කරන්නට සිදුව ඇත. නිවෙසේ පවතින අනාරක්‍ෂිත බව නිසා බිරිය, දරුවා තනිකර වෙනත් ප්‍රදේශයක රැකියාවකට යන්නද සංජයට නොහැකි වී තිබේ.

මේ වන විට පවතින ගැටලු ගැන අදහස් දක්වමින් 33 හැවිරිදි සංජය අපට මෙසේද අදහස් දක්වන ලදී.

“මම පොළොන්නරුවේ කුඹුරු වැඩට ගියාට පස්සේ අපේ නෑදෑ වන අයියා කෙනෙක් ඉන්නවා වැලිකන්දේ. එයා කතා කරලා තමයි අපි දෙන්නා විවාහ වුණේ. මගේ සහෝදරයන් ඉන්නවා. නංගිලා දෙන්නෙක් සහ අක්කලා දෙන්නෙක්. ඒ අය විවාහ වෙලා රජරට ප්‍රදේශවල පදිංචි වෙලා ඉන්නේ. අම්පාරෙත් ඉන්නවා. එයාලා මම බලන්නවත් මෙච්චර කාලයකට ඇවිත් නෑ. තාත්තා නැතිවෙලාත් අවුරුදු 14ක් වෙනවා. ඊට පස්සේ කවුරුවත් ඇවිත් නෑ.

මම ජීවත් වෙන්න කියලා පොල් කැඩීමේ රැකියාව තමයි කරන්නේ. හැමදාමත් ඒ රැකියාව නෑ. පුංචි දුව තනි කරලා අෑත රැකියාවකට යන්නත් බෑ. කොහොම හරි දවසේ වැඩ කරලා හොයාගන්න වැටුපෙන් තමයි අපි සියලු දෙනා කාල බීලා ජීවත් වෙන්නේ. ඒත් සමහර දවස්වල දවසේ කෑම බීම ටික ගන්නවත් මුදල් නැතිවන අවස්ථා අනන්තයි.

අපි ඉන්න ගෙදර කටුමැටිවලින් තමයි හදලා තියෙන්නේ. ගේ ඇතුළත ඕනෑ නම් අඩි 10ක් දිග පළල අඩි 8ක් විතර ඇති. ඒක ඇතුළේ ඉටි රෙදිවලින් වෙන් කරලා වැටහිර ලීවලින් ඇඳක් හදලා බිත්තියට තියලා පොළොව හාරලා කණු හිටවලා කාඩ්බෝඩ් දාලා නෝනයි පුංචි දුවයි නිදා ගන්න විදිහට හදලා තියෙනවා. මම ගොඩක් වෙලාවට බිම නිදියනවා. අවට කැලෑව නිසා සර්පයන් එයි කියලත් බයක් දැනෙනවා. එහෙම ආපු අවස්ථා තිබෙනවා. හරියට දෙපැත්තෙන් වහගන්න ‍ෙදාරවල් නැති නිසා ලෑලි කෑල්ලත් තියලා පුටුවක් තියනවා.

උයා පිහා ගන්න මුළුතැන් ගෙයක් නැති නිසා ළිප්ගල් තුනක් තියලා කෑම හදා ගන්නවා. වැස්ස වෙලාවට ඒක කරන්න බෑ. ඒ දවසට වැසිකිළියට යන්නෙත් කුඩයක් අරන්. වැසිකිළියක් හදා ගන්න බැරි නිසා වළක් කපලා ලෑලි ලී දාලා තාවකාලිකව හදා ගත්තා. වටේට සාරි ඇදලා තියෙන්නේ” යැයි මේ අසරණ පියා පවසන්නේ මහත් සංවේගයෙනි.

කාන්තාවක ලෙස, මවක් ලෙස මේ සියලු කම්කටොලු විඳ දරා ගනිමින් තම ආදරණීය ස්වාමිපුරුෂයා සමඟ මොන අගහිඟකම් තිබුණත් කුසගින්නේ සිට හෝ නිවෙසේ බොහෝමයක් කටයුතු කරන මහේෂිකා සෙව්වන්දි අපට මෙසේ කීවාය.

“අපිට තියෙන අඩුපාඩු අනන්තයි. දැන් දැන් මහත්තයාට රැකියාවෙත් වැඩ නෑ. දුර ප්‍රදේශවල රැකියාවකට යවන්න බෑ. පුංචි දුවයි මායි තනිවෙනවා. එයත් එක්ක මට තනිවම උයන පිහන දේවල් කරගන්න බෑ. කටුමැටි නිවෙසක් නිසා හරිම අවදානම් සහගතයි. කොටින්ම කීවොත් හරියට නිදාගන්නවත් විදිහක් නැතුවයි ඉන්නේ. අපි දෙන්නාම ඉල්ලන්නේ නිවෙසයි, වැසිකිළියයි සකස් කරගන්න කවුරු හරි උදව්වක් කරනවා නම් ඒක ලොකු පිනක්. දැන් තියෙන ආර්ථික වටපිටාවත් එක්ක අපිට එහෙම දෙයක් කරනවා කියන්නේ හීනයක්. දරුවාගේ අනාගතයට වාගේම එයාගේ ආරක්‍ෂාවටත් අපිට නිවෙසක් ඕනෑ. මේ කටුමැටි නිවෙසත් දැන් බොහෝ ස්ථානවල පිපිරිලා විතරක් නෙවෙයි වැස්ස දවසට දියඋල්පත් මතු වෙනවා” යැයිද කීවාය. සංජය කුමාරතුංගගේ දුරකථන අංකය 0723218289

මාවනැල්ල – කේ.වී. බණ්ඩාර