ලොව ඉහළම ආහාර උද්ධමන රටවල් අතර 4 වැනි තැන ශ්‍රී ලංකාවට

0
14

ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරින්, ඉතියෝපියාව, රුවන්ඩාව පරදවමින් ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පත්වී තිබේ.

මෙම වසරේ (2022) මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා අතර කාලය තුළ ලොව රටවල් 156ක ආහාර උද්ධමනය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් එළි දැක්වූ වාර්තාවක් මඟින් එය අනාවරණය වේ.

එම වාර්තාවට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් 10ක් සඳහන් වන අතර ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් වන්නේ සිම්බාබ්වේ, ලෙබනන්, වෙනිසියුලාව, ශ්‍රී ලංකාව, තුර්කිය, ඉරානය, ආජන්ටිනාව, මෝල්දෝවා, ඉතියෝපියාව, රුවන්ඩාව යන රටවල් 10කි.

ඒ අතරින් ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පත්ව ඇති අතර ලෝකයේ ඉහළම හා ආහාර උද්ධමනයක් ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර දෙවැනි හා තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ලෙබනන් සහ වෙනිසියුලාව යන රාජ්‍යයන්ය.

එම වාර්තාවේ මෙරට ආහාර උද්ධමනය සියයට 91ක් ලෙස සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සියයට 10ක අගයක් ගෙන ඇති අතර හා එය 2022 වසරේ ජූලි මාසය වන විට සියයට 82.5ක් දක්වා වැඩිවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්තවල සඳහන් වේ.

ලොව පුරා මිලියන 205.1ක ජනතාවක් ආහාර අර්බුදයකට හෝ එහි උග්‍ර තත්ත්වයකට මුහුණපානු ඇති බවට එම වාර්තාව අනාවරණය කරයි.

මේ අතර මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ සෝමාලියානු බොක්ක ආශ්‍රිත කලාපයේ ප්‍රදේශ තුනක සාගතයක් ඇති වනු ඇති බවටද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාව මඟින් පුරෝකථනය කර ඇත.

අමිල අබේරත්න