රැජින මියගිය එකට වඩා ජනතාව බඩගින්නේ ඉන්න එක ගැන අපට කනගාටුයි

0
28

රැජිනගේ මරණය වෙනුවෙන්  ලෝකෙටම පේන්න දුක් වෙන රනිල්ට මේ රටේ බඩගින්නෙ ඉන්න මිනිස්සු ගැන. අබමල් රොනකවත් දුකක් නොසිතීම ඉතා කනගාටුදායක යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න ‘මව්බිම’ට පැවැසීය.

රැජින වෙනුවෙන් මේ රටේ ශෝක දිනයකුත් ප්‍රකාශ කර එංගලන්තයට පවා ගොස් ශෝකය පළ කළ ජනාධිපති  රනිල් වික්‍රමසිංහට රටේ මිනිසුන්ගේ ආහාර හිඟය, දරිද්‍රතාව  නොපෙනෙන්නේ මන්දැයි මන්ත්‍රිවරයා විමසීය.

රැජින මියයෑම ජනතා විමුක්ති පෙරමුණට කනගාටුවක් වුවත් ඊට වඩා මේ රටේ ජනතාව බඩගින්නේ පසුවීම කනගාටුදායක බව සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේය.

“මේ ආණ්ඩුව මුල් කාලයේ චක්‍රලේඛයක් ගැහුවා රක්ෂිතවල නිකම් වැවෙන කොස්, දෙල් කන්න කියලා. අපිට එතැනින්ම තේරුණා රටේ ආහාර අර්බුදයක් තියෙනවා කියලා. අද රිළව්, අලි ගම්වලට එනවා කන්න නැතිව. මං ඉන්න ප්‍රදේශයත් අද මායිම් ගම්මාන වෙලා තියෙනවා.

මේ වන සත්තු ගම්මානවලට වැදිලා. අලි – මිනිස් ගැටුම් උග්‍ර වෙලා. රට ලොකු ආහාර අහේනියකට මුහුණදී තිබෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ පෙරපාසල්වලට ළමයින් යෑම සියයට තිහක් අඩුවෙලා.  ඒ වගේම පාසල්වලට යන ළමයින් කලන්තේ දාලා වැටෙනවා. මේකට එක හේතුවක් ආහාර ප්‍රශ්නය. අනෙක් හේතුව පෙරපාසල් ගාස්තු ගෙවන්න සල්ලි නැහැ. වතුකරයේ මේ තත්ත්වය ඉතාම උග්‍රයි.

ආණ්ඩුව එද්දී රුපියල්  450ට තිබුණු හාල්මැස්සො කිලෝව අද  රුපියල් 2,000 පැනලා. හාල්මැස්සො, පරිප්පු වගේ දේවල් තමයි මේ මිනිස්සු කෑවෙ. නමුත් ඒකවත් අද  කන්න නැහැ. මිනිස්සුන්ට ප්‍රෝටීන් ටිකවත් නෑ. තෙල්, ගෑස් පෝලිම අපිට ඇස්පනාපිට පේන්න තිබුණට ආහාර හිඟයෙන් ඇතිවන බලපෑම අපිට ක්ෂණිකව දකින්න නෑ. ඒක ඉතාම බරපතළ අර්බුදයක්” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්