රටට ඔරොත්තු නොදෙන විදුලි පරිභෝජනයෙන් අර්බුද ඇතිවෙලා

0
4

රටට ඔරොත්තු නොදෙන ගොඩනැඟිලි, විදුලි උපකරණ හා අනවශ්‍ය භාවිතයන් නිසා විදුලි අර්බුදයක් නිර්මාණය වූ බව අවබෝධ කරගෙන වහාම විදුලි පරිභෝජනයේ හා රටට ගෙන්වන විදුලි උපකරණ සම්බන්ධයෙන් නියාමනයක් කරන මෙන් ශ්‍රී  ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,  මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  ඉකුත්දා (17දා) මිරිසවැටිය විහාරස්ථානයට ගිය අවස්ථාවේ ඒ මහතා නාහිමියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. එම අවස්ථාවේදී උතුරුමැද පළාතේ ජනතාව මුහුණ දෙන ගැටලු හා ජාතික අවශ්‍යතා සම්බන්ධයෙන් දීර්ඝව පැහැදිලි කළ මිරිසවැටිය නාහිමියෝ තට්ටු නිවාස ඇතුළු බොහෝ ගොඩනැඟිලි ඉදිකිරීමේදී ජලය හා විදුලි ආදී බලශක්තීන් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර ඒවා සැලසුම් කිරීමෙන්  අර්බුද ඇතිවන බව පෙන්වා දුන්හ.

‘‘තට්ටු නිවාසවල ඒකක සිය ගණන් හදනවා. ඒවාට ආලෝකය, වායුසමීකරණ, රෙදි සෝදන  යන්ත්‍ර, පරිගණක ආදී නානාවිධ විදුලි උපකරණ දහස් ගණනින් අවශ්‍ය වෙනවා. ඉවක් බවක් නැතිව පිටරටින් ඒවා ගෙන්වනවා. විදුලි බිල වැඩිවුණේ මේ හේතුත් නිසා. ඒ නිසා ලංකාවේ විදුලි පරිහෝජනය හා විදුලි උපකරණ සම්බන්ධයෙන් වහාම සමීක්ෂණයක් කරලා අවශ්‍ය නියාමනය කරන්න රජයට මඟ පෙන්වන්න යැයි උන්වහන්සේ පැවැසූහ.

උන්වහන්සේ සිය අනුශාසනාවේදී මෙසේ ද පැවැසූහ.

රටේ හැම දේම අසාර්ථකයි. අධ්‍යාපනය,  සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී කොතැනත් අසාර්ථකයි. ගුරුවරුන් සාර්ථක නම් මෙච්චර ටියුෂන් පැතිරෙනවාද? වෛද්‍යවරු සාර්ථක නම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මේ තරම්  බිහිවෙනවාද?

කාබනික පොහොරවලට වෙනම මිලක් හා කෘෂිකර්මයේ ආකල්පමය වෙනසක් ඇති කරන වැඩපිළිවෙළවල් හදන්න. බිත්තර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වැවීම අවශ්‍යයි. ඒ සඳහා කාබනික පොහොර යෙදීම අසීරු නිසා රසායනික පොහොර අවශ්‍යයි.

යුද හමුදාව මෑතදී කළ ආදර්ශ දේශීය වී වගා කාබනික පොහොර යෙදීමෙන් අතිසාර්ථක වෙලා තිබෙනවා. වර්තමානයේ සමාජය කෘෂිකර්මාන්තය ගැන උනන්දුයි. ඒ නිසා අභිජනන බීජ අවශ්‍යතා වෙනමත් දේශීය බීජ වෙනමත් අවශ්‍යතා හ¾දුනාගෙන මහඉලුප්පල්ලම, මාක¾දුර හා පේරාදෙණිය පර්යේෂණායතනවලින් ඉක්මනින්ම රටට අවශ්‍ය බිජ නිෂ්පාදනය කරන්න. බීජවල ස්වභාවය අනුව තමයි පොහොර වර්ගය තෝරාගන්නේ. ගොයම් කපන භූතයා මැෂිමට විනාඩියට රුපියල් 250ක් කුලියක් ගෙවන්න වෙනවා. ඒ තරමටම කෘෂිකර්මය සංකීර්ණයි. ඒ නිසා ස්මාර්ට් ගොවියන් හදන තැනට අවශ්‍ය තැන් විධිමත්ව වෙනස් කරන්න වෙයි.

ඒ කාරණේ දී හිත් රිදීම් ඇති වෙයි. ශ්‍රී  ලාංකිකයෝ එක්ක වැඩ කරන්න වෙන්නේ එහෙම තමා. අපි කවදාවත් යුද්ධ කරලා පැරදුණේ නෑ. පැරදුණේ කේලාම් කියලායි. භේදභින්න වෙලායි විතරයි. ඒ නිසා ළදරු කිරි, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත්වල මිල අඩු කිරීම ගැන වහාම රජයේ අවධානය යොමුකරන්න”යැයි මිරිසවැටිය නාහිමියෝ අගමැතිවරයා හමුවේ කියා සිටියහ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් හා අග්‍රාමාත්‍යවරයාගේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක නාගරික මන්ත්‍රි දුමිදු දයාසෙන්, රැටියල සහ අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහත්වරුද එක්වූහ. එදින සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍යවරයා සහභා ගිවෙමින් රජයටත් රටටත් සෙත්පතා විශේෂ බෝධිපූජා පින්කමක් මිරිසවැටිය සෑය අබියසදී පැවැත්විණි.

අනුරාධපුර _ වික්‍රම රලපනාව