රජය පවසන සහතික වී මිල ගොවීන් රවටන බොරු කතාවක්

0
6

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමට රජය මේ දක්වා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම හමුවේ පෞද්ගලික අංශයේ මෝල් හිමියන් වී කිලෝවක් රුපියල් 85-95ත් අතර මුදලකට මිලදී ගැනීමට ඉදිරිපත්ව සිටින බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවැසීය.

යල කන්නයේ වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර නොමැති බවත්, ගොවිජන සේවා මධ්‍යස්ථාන රුපියල් 120ක මුදලකට වී මිලදී නොගන්නා බවත් ඒ මහතා චෝදනා කළේය.

රජයේ සහතික මිල ගොවීන් රවටන වචනයක් පමණක් බවද ඔහු කීවේය.

වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 145ක් පමණ වැයවූ බවත්, පෞද්ගලික අංශයේ මිල ගණන්වලට වී අලෙවි කිරීමට සිදුව තිබීමෙන් ගොවියා ගැටලු රැසකට මුහුණදී සිටින බවත් වත්තුහේවා මහතා පැවැසීය.

වර්ෂාව ආරම්භ වී ඇති ප්‍රදේශවල ගොවීන්ට වී වේළාගත නොහැකිව පෞද්ගලික අංශයට අඩු මිලට වී අලෙවි කිරීමට සිදු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර නැතැයි කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බවද ඔහු කීය.

අමිත් මධුරංග ගමගේ