යුක්රේනයේ සිරවී සිටි හත් දෙනා වෛද්‍ය සිසුන් නෙවෙයි

0
134

යුක්රේනයේදී රුසියානු හමුදාව විසින් මාස හයක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ඔවුන් නීති විරෝධී ලෙස යුරෝපය කරා සංක්‍රමණය වීමට උත්සහ දැරූ පිරිසක් බවට දැනට ඇති වාර්තා අනුව හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඔවුන් නැවත ලංකාවට පැමිණීමට කැමැත්තක් නොදක්වන බවටද වාර්තා වී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භයේදීම යුක්රේනයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව කී හෙතෙම නැවත පැමිණීමට අකැමැති පිරිස් බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම කළ නොහැකි බවද  වැඩිදුරටත් පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් මෙසේ පැවැසීය.

“මේ හත් දෙනාත් දැනට තියෙන වාර්තාවලින් කියන්නේ, ඒ කට්ටිය එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. රජයක් හැටියට ඒ කට්ටියව බලෙන් ඉවත් කරගන්න අපිට හැකියාවක් නැහැ. මේ කට්ටිය ශිෂ්‍යයන් නොවෙයි. දැනට තිබෙන වාර්තාවල තියෙන්නේ මේ කට්ටිය හොර ඒජන්ට් කෙනෙක් හරහා යුරෝපයට සංක්‍රමණය වෙන්නට උත්සාහ දරපු පිරිසක්.”

යුක්රේනයේ කාර්කිව්හි මුදා ගත් ප්‍රදේශවල, මාර්තු මාසයේ සිට ආක්‍රමණිකයන් විසින් රඳවා ගනු ලැබ සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනකු බේරාගත් බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පසුගිය 17 වැනිදා පැවැසීය.

යුක්රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ (Kupyansk Medical College) සිසුන් 7 දෙනකු එලෙස ගලවාගත් බව සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළේය.

තාරක සම්මාන්