මිනිය උඩින් තනුව වයන දෙදාහේ බජව්

0
59

බොහෝවිට නුදුරු අනාගතේදී සිරි ලංකා දීපේ මිනිහෙක් මැරුණහම ගහන අවමංගල පත්‍රිකා, ශෝක ප්‍රකාශ, බැනර්වල එහෙම පෙනුම වෙනස් වෙන්ඩ පුළුවන්. අර කණකොක් පාටින් ගහන බැනර් වෙනුවට, පාට පාට බැනර් එකක එක කෙළවරක මැරුණු කෙනාගෙ මූණත් තහඩුවයි අනිත් කෙළවරේ ඩ්‍රම්, ගිටාර්, කීබෝඩ් උස්ස ගත්ත බෑන්ඩ් එකක ෆොටෝ එකකුයි දාලා, මුවන්පැලැස්සේ කිරිහාමි පින්වත් මහතා අභාවප්‍රාප්ත විය. ඔබේ හද තුළ බුර බුරා නැඟෙන ශෝකය පළ කරනු වස් අසවල් දිනයේ අසවල් කනත්ත ඉදිරිපිට අසවල් සංගීත කණ්ඩායම විසින් පවත්වනු ලබන සංගීත ප්‍රසංගය සඳහා ඔබේ පැමිණීම අපේක්ෂා කරමු, මෙයට ශෝක-ප්‍රීතියට පත් පවුලේ නෑයන්, වේයන් හා මිතුරන්, වගේ බැනර් හන්දිවල දැක බලා ගන්න ඉඩ ලැබෙන්න පුළුවන්.

එහෙම නැත්නම්,

“ඉතින්, ඉතින්, කොහොමෙයි අක්කේ? අපේ කිරි අත්තා බැඳපු ආච්චිගෙ මස්සිනා නැති වෙලත් දැන් තුන් මාසයක්නේ. එහෙනම් පවුලෙ ඔක්කොම එදාට සිංදුවක් දෙකක් අහලා යන්ඩ එන්ඩ ඕනෙ හොඳද? අපිට ගෙවල් දෙකකට එහා ගෙදර උන්ගේ ගෙදර බල්ලා මැරුණය කියලත් උන් වළ ළඟ JBL දාගෙන සිංදු කිය කිය නැටුවනේ අක්කේ. හහ් ! අපේ පරම්පරාවෙ නම් කිසි එකෙක් ඔහොම විළිලැජ්ජා නැති වැඩ කරලා නෑ. එහෙමයි කියලත් උන්ට දෙවැනි වෙන්ඩ පුළුවන්ද අක්කේ අපිට. කිරි අත්තගේ පරම්පරාවේ නම්බුව ගැන හිතලා අපි හිතුවා පැදුරු පාටියක් දාන්ඩ. ඩොලැක්කි, සර්පිනා එහෙම ගහද්දී ලස්සනට තියෙයිනේ කොහොමත්, වගේ දුරකථන ඇමතුම් ආරාධනා ඔබට අහන්න ලැබෙන්න පුළුවන්.

සමහර විට පත්තර, ටීවීවල නිව්ස් හෙඩ්ලයින් විධියට, මිතුරන්ගේ කර්ණ රසායන ගීත ගායනා අසා සිටිය නොහැකි තැන මියගිය මිතුරා වළෙන් නැඟිට විත් මිතුරෙක්ගේ කන පළලා! අල්ලපු සොහොනේ සිංදුවට නැටුවා යැයි මෝහිනී සැමියාට දික්කසාද නඩුවක් ගොනු කරයි! වගේ එව්වා තියෙන්න පුළුවන්. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක, ඒකවත් දන්නේ නැත්නම් බ්‍රෝවරුනි දැන් ඉතින් ඉතුරු කාන්තාර ඔටුවෙක් වගේ සමාජෙන් කොන් වෙන්ඩ විතරයි!

කොහොම වෙතත් ඔය මළ ගෙවල්වල ගිහින් මියුසිකල් ෂෝ ගහන එක මේ දවස්වල සෑහෙන්න දෙපැත්ත බෙදිලා වාද කරන මාතෘකාවක්. ඔය අතරින් සමහරක් මළ ගෙවල්වල අඬ අඬ අත්පුඩි ගහන මිනිස්සුයි, මඟුල් ගෙයක් තරමට හිනා කටක් පුරවගෙන මළ ගෙදර සිංදු කියන යාළුවොයි ඇරුණාම තවත් මළ ගෙවල් තියෙනවා මවුපිය, නෑදෑයො අනේ අනිච්චං වගේ හිස් බැල්මකින් බලන් ඉද්දී යාළුවො ටික බෙරවලට තළ තළා වළ වටේ කාවඩි නටන. හරියට නිකන් මළගේ හයිජැක් කරපු ගානයි. මළ ගෙදර මිනිසුන්ට ජීවිතේ කලකිරෙන්නේ අර විප්පයෝ දුකටත් වඩා ඒ නානාප්‍රකාර නැටුම් වැයුම් ගැයුම් දිහා බලන් ඉඳලම ඇති වෙලා.

ගොඩක් වෙලාවට ඔතනදී තම තමන්ව ජස්ටිෆයි කර ගන්න අදාළ සමාජ ස්ට්‍රාටමයන් විසින් ඉස්සරහට දාන පොයින්ට් එක තමයි, සිංදු කියන්නේ මැරුණ කෙනාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන්ය කියන එක. නමුත් එහෙම කියද්දීම පවා ඔවුන්ගේම හෘද සාක්ෂිය දන්නවා ඔය කියන කවි ගී අහගෙන ඉන්න මැරුණ මනුස්සයා මේ වෙද්දී මේ ලෝකේ නෑ කියන තිත්ත ඇත්ත. භෞතික ශරීරයෙන් ආධ්‍යාත්මික ශරීරය ගැලවිලා යන්න ගියාට පස්සේ එතන තවදුරටත් ජීවයක් නෑ කියන යථාර්ථය. එතකොට වළ වටේට ඉඳගෙන, මචං උඹ අහන් ඉඳපන් අපි සිංදු කියන්නම් කියලා පටන් ගත්තට ඒවට අත්පුඩි ගහන්න මැරුණ මනුස්සයා ආයෙමත් වළෙන් නැඟිටලා එන්නේ නෑ. ප්‍රිය විප්පයෝගයක් එක්ක අසරණ වෙලා ඉන්න නෑදෑයන්ගේ හිත් හැදෙන්නේ සැනසෙන්නේ නෑ. සමහර විටෙක ඔය කියන සමහර සිංදු මැරුණ මනුස්සයා තමන් ජීවත් වෙලා ඉද්දී වැස්සකටවත් ඇහුවේ නැති එව්වා වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට මැරුණ මනුස්සයා සිංදු අහනවා තියා ෆෝන් එකේ රිගින් ටෝන් එක ඇහෙද්දීත් බඩ දඟලන සයිස් එකේ, අයි හේට් මියුසික්වාදියෙක් වෙන්ඩත් පුළුවන්. ඔක්කොටමත් වඩා ඔය වළ වටේ සිංදු කියන්න එකතු වෙන මිනිස්සු ඇයි අපි මෙහෙම සිංදු කියන්නේ කියන කාරණාව ගැන පවා හරි හැටි අවබෝධයක් නැති රැල්ලෙන් රැල්ලට වැල්ල මාරු කරන පිරිසක් වෙන්නත් පුළුවන්. ඊටත් වඩා මැරුණ මනුස්සයගේ ජන්මාන්තර තරහකාරයෙක්ට එහෙම ශේප් එකේ ඔය අස්සට ඇවිත් සිංදු කියන ගමන්, අනේ හොඳයි ඕකා මැරුණ එක, ඉන්නකන් මට දුන්නේ ගින්දර, කියලා කුටු කුටු ගාන ගමන් නටන්න එහෙම හිතුණොත් කොහොමද? මචං, බ්‍රෝවරුනි, තොප්පිය හරි වගේ නම් දාගන්න, අපි තරහ වෙන්නේ නෑ.

ඒ නිසා බොහෝවිට ඔතැනදී වෙන්නේ අවංකවම එක. පුද්ගල කොට්ඨාසයක අවශ්‍යතාවක් වෙනුවෙන් මැරුණු මනුස්සයා අවභාවිත වෙන එක සරලවම යූස් වෙන එක. හිත මිතුරෙක්, ආදරණීයයෙක් සතුටු කරන්න සිංදුවක් කියන එක හොඳයි. නමුත් ඇයි ඔබට බැරි ඒක ඔබේ ආදරණීයයන් ජීවත් වෙලා ඉන්න කාලෙදි කරන්න? ඔවුන්ට ජීවත් වෙලා ඉන්න කාලෙදි ආදරේ කරන්න. ඔවුන්ව ජීවත් වෙලා ඉන්න කාලෙදි දරාගන්න. ජීවත් වෙලා ඉන්න කාලෙදී බදා ගන්න. එහෙම නැති වුණොත් වළ වටේ මැරුණ යාළුවා සතුටු කරන්න කටින් සිංදු කිව්වට හිතින් පට්ට ගිල්ට් එකක් ඔබට වද දෙන්න ඉඩ තියෙනවා. අඬාගෙන ඉපදුණ දා ඉඳලා අඬවගෙන ආපහු යන දා වෙනකන්ම, කිරි බෝතලේ සූප්පුවෙ ඉඳන් මිනී පෙට්ටිය වෙනකන්ම අනේකවිධ බ්‍රෑන්ඩ්වල, ට්‍රෙන්ඩ්වල, ඇජෙන්ඩා වෙනුවෙන් යූස් වුණ මිනිහෙක්ට මැරුණට පස්සෙත් යූස් වෙන්ඩ සිද්ධ වෙන එක ට්‍රැජඩියක්. ඒකත් තමන්ගේ සමීපතමයන්ගේ ටික් ටොක් වීඩියෝ එකක් වෙනුවෙන්, සෝෂල් මීඩියා රීච් වෙනුවෙන් පාවිච්චි වෙන්ඩ වීම වළෙන් නැඟිටලා ඇවිත් අඬ අඬා හිනා විය යුතු තරමේ කොමඩියක්.

අනෙක් අතට මේ, මළ ගෙදර මියුසිකල් ෂෝ, ට්‍රෙන්ඩ් එකේ අනුගාමිකයෝ හෝ සාධාරණීකාරකයෝ අතින් නොදැනීම හරි කනේ පාරක් වදින්නේ කාලාන්තරයක් තිස්සේ පැවතීගෙන එන ප්‍රිය විප්පයෝගයකදී හොටු පෙරාගෙන, පස් කාගෙන හඬා ‍ෙදාඩා වැලපෙන්න ඕනේ කියන සාම්ප්‍රදායික ගතානුගතික තියරියට. මිනිහෙක් ජීවිතේ ඇති වෙනවාය නැති වෙනවාය කියන රියැලිටිය ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන එක අනිවාර්යයෙන්ම සාධනීයයි. නමුත් ඒක අරටුවක් නැති, තාවකාලික ප්‍රදර්ශනාත්මක මතවාදයක් විධියට විතරක් පාවිච්චි කරන එක තුළින් පමණක් ඔබට යථාර්ථවාදියෙක් වීම අපහසුයි.

ඇත්ත. දුක තුනී කර ගන්න පුළුවන් වෙන්නේ ඇඬුවොත් විතරක් නෙවෙයි. කෑ ගහලා හිනා වෙලා, හයියෙන් සිංදු කියලා දුක පිට කරන මිනිස්සු කොට්ඨාසත් ලෝකේ ඉන්නවා. නමුත් බොහෝ වෙලාවට පොත්තේ ලස්සනට රැවටිලා මදේ අහක දාන බහුතර ලාංකේය සමාජ ස්ට්‍රාටමයන් නිසාවෙන් මේ අලුත් රැල්ල ගැන ඉතුරු වෙලා තියෙන්නේ සාධාරණ ප්‍රශ්නාර්ථයක්? ඉතින් රැල්ලක් නිසා, තොප්පි වෙළෙන්දට රැවටිලා තොප්පි සේරම ආපහු බිමට විසි කරපු ව¾දුරෝ ගානට වැටෙන්න කලින් ආයෙමත් හිතලා බලන්න පුළුවන් නම් වටිනවා. කොහොම වුණත් කාලෙන් කාලෙට එන මේ වගේ රැලි ආවටත් වඩා වේගෙන් ආපහු මැකිලා යන බව දන්න නිසා කමෙන්ට් සෙක්ෂන්වල ටි්‍රගර් වෙනවට වඩා කාර් එකත් එයාලගෙ නම්, පෙට්රලුත් එයාලගේ නම්, පාරත් එයාලගේ නම් අපි අයින් වෙලා පයින් යන එක දෙගොල්ලොන්ටම හොඳ වෙයි. අනෙක් අතට එන එන රැල්ලට හෝයියා කියනවට වඩා, මේ මොකද්ද, කොහෙන්ද ආවෙ, මොකද්ද වෙන්නේ කියලා හොයලා බලලා හිතලා මතලා හරි හමන් පදනමක් ඇතුව මනුස්සයෙක් විධියට වැඩ කරන එකත් කාට කාටත් ඊටත් වඩා හොඳ වෙයි. අවසාන වශයෙන්, මේ කිව්ව කරුණු කාරණා තම තම නැණ පමණින් කිරා මැන ගැනීම බ්‍රෝ කියවන සුදු නෝනලාට සුදු මහත්තයලාටම භාරයි!

ප්‍රහර්ෂි පෙරේරා