මැගසින් උපවාසකරුවන්ගේ ඥාතීන් උතුරේ විරෝධයක

0
29

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැනට උපවාසයේ නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා එම සිරකරුවන්ගේ ඥාතීහු පිරිසක් විසින් පෙරේදා (18දා) විරෝධතාවක නිරත වූහ.

2017 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 12 දෙනකු අත්අඩංගුවට ගෙන කිසිදු නඩු විභාගයකින් තොරව මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.

අදාළ පිරිස් වෙනුවෙන් නීත්‍යනුකූලව පියවර නොගන්නේ නම් කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කළ යුතු බවටත් පවසමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.

එමෙන්ම මේ වන විට උතුරු පළාතේ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාර කිහිපයකම නඩු විභාගයකින් තොරව රඳවා තිබීම මඟින් එම සිරකරුවන්ගේ පවුල් පීඩාවන්ට පත්ව ඇති හෙයින් සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට වත්මන් රජය වහා පියවර ගත යුතු බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවැසූහ.

මුලතිව් _ ශෂි කුමාර්