බඩු ගේන්න බිරිය දුන් රු. 2700 බූරුවා ගහලා පැරදිලා

0
15

තවලම කපල්ල ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා බූරුවා ගසමින් සිටි පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 හා 55 අතර වයස් කාණ්ඩවල පසුවූ පුද්ගලයන් 06 දෙනෙකි.

මින් එක් අයකු නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා බිරිය විසින් ලබාදුන් මුදල්ද බූරුවා ගසා පරාජය වී ඇති බව පොලිසිය පවසයි. ඔහු මුදල් ඔට්ටුවට බූරුවා ගසා රුපියල් 2700ක මුදලක් පරාජය වී තිබූ අතර නිවෙසට යෑමට නොහැකිව කඳුළු සලමින් සිටි බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හිනිදුම පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ප්‍රියන්ත, උ.පො.ප. ඒකනායක, පො.කො. චාමර (71641), පො.කො.  ධනුෂ්ක (83753) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

ගාල්ල – කමල් විජේහේවා