බඩුයි – කුඩුයි එක්ක සංවිධානාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට

0
4

ගිරානේගම පොලිස් ස්ථානය මඟින් සිදුකළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධයක් සඳහා මාන බලමින් සිටි කල්ලියක සාමාජිකයන් පිරිසක් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක්, තියුණු ආයුධ හා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මෙහෙයුමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බුලනවැව (දේවහූව)  හා බෝගහවැව (දඹුලුහල්මිල්ලවැව) යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 හා 36 යන වයස්වල පිරිසකි. මෙම පිරිස මත්කුඩු ජාවාරමක් මෙහෙයවන බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ගිරානේගම පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ආනකටාවැව ප්‍රදේශයේ දී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී එම ත්‍රිරෝද රථයේ සඟවා තිබූ කඩුවක් හා මිට දිග පිහියක් සොයා ගැනීමට  පොලිසියට හැකිව තිබේ. පසුව ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයා වැඩිදුර පරීක්ෂාවට ලක්කරද්දී  ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1000කට වැඩි ප්‍රමාණයක් ද පොලිසිය සොයා ගෙන තිබිණ.

ඒ අනුව සැකකරුගෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මත්කුඩු හා සම්බන්ධ එම කල්ලියේ තවත් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබිණ. පසුව අදාළ ත්‍රිරෝද රථය හා එහි රියැදුරු හා සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ප්‍රකාශයන් අනුව එම කල්ලියට සම්බන්ධ තවත් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබිණ.

ඒ අනුව වහා ක්‍රියාත්මකව ඇති පොලිසිය එම පිරිස ගමන් ගනිමින් සිටි නවීන පන්නයේ මෝටර් රථයක්  ඉබ්බන්කටුව ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමට නවතන ලෙස අණකර ඇතත් එම පොලිස් අණ නොතකා අදාළ මෝටර් රථය පොලිස් නිලධාරීන්ද යටකර දැමීමට උත්සාහ කර පලා ගොස් තිබිණ. ඒ අනුව වහා ක්‍රියාත්මක  පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය පසුපස ලුහුබැඳ ගොස්  දඹුල්ල නගරයේදී  අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. එම අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ සිටි රියැදුරු හා තවත් දෙදෙනකු පලා ගොස් ඇතත් එක් සැකකරුවකු හා මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබිණ.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය දඹුල්ල ප්‍රදේශයේ  කාන්තාවකට අයත් එකක් බව පොලිසිය කියයි. මෝටර් රථයෙන් පලායමින් සිටියදී අත්අඩංගුවට පත් එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1100කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ. පොලිස් අත්අඩංගුවට පත් අදාළ මෝටර් රථය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මිට දිග වක් පිහියක්, හොකී පිත්තක් යකඩ බට දෙකක් හා නන්චක්කුවක් හා හෙරොයින් භාවිතයට ගන්නා උපකරණයක් ද මිරිස්කුඩු පාර්සල් කිහිපයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.

මෙම සංවිධානාත්මක පිරිස කිසියම් අපරාධයක් සඳහා එදින මෙලෙස ගමන් කරමින් සිට ඇති බවට පොලිසිය පවසයි. ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ එම සාර්ථක මෙහෙයුම හේතුවෙන් එම කණ්ඩායම අතින් සිදුවීමට තිබූ අපරාධයක් වැළකී ගොස් තිබිණ.

ගිරානේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීම අනුව පොලිස් සැරයන්වරුන් වන වනසිංහ (61278), විජේකෝන් (61273) විජේකුමාර (8510), දසනායක (53554), ශාන්ත (37274), දිසානායක (60221) හා පොලිස් කොස්තාපල්වරුන් වන (767427 අබේසිංහ (767427 රත්නායක (84704) විජේබංඩාර ඇතුළු පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

මඩාටුගම _ ප්‍රසංග ඒකනායක