පොත කටපාඩම් කරලා, රට ගොඩ දාන්න පුළුවන්ද?

0
54

විශ්වය හා සමාන්තරව ගත් කල පෘථිවිය කියන්නෙ මොන තරම් කුඩා අංශුවක් වුවත් එය තුළ බොහෝ විවිධ සහ විෂම ලක්ෂණයන් දැකිය හැකියි. ඒ විවිධත්වයන්ගෙන් සහ විෂමතාවන්ගෙන් ගහන කුඩාම අංශුවක් වන පෘථිවිය තුළ බොහෝමයක් න්‍යායන් ගොඩනැඟිලා තියෙනවා. ඒ න්‍යායන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ නිසා තමයි ඔබ අප දකින මේ ලෝකය දියුණු යැයි කියන සංකල්පය ගොඩනැඟුණේ.

ඇත්තටම අපි හිතුවොත් මේ ලෝකය  දියුණුව කියන දේ මනින්නේ අතීත ලෝකයකට සාපේක්‍ෂව, ඒ වගේම රටක දියුණුවත් මනින්න වෙන්නෙ වෙනත් රටවලට සාපේක්ෂව. එහෙම තත්ත්වයක් තුළ ලෝකයේ සෙසු රටවල් සමඟ තරග කිරීමට නම් අප විසින් බිහි කරන සෑම පුද්ගලයකුම එකිනෙකාට සාපේක්ෂ වශයෙන් හෝ ප්‍රායෝගික න්‍යායන් ගොඩනැඟීමට හැකි හෝ ප්‍රායෝගික පුද්ගලයන් වශයෙන් බිහි කිරීම අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා රටේ අධ්‍යාපන ක්‍රමයට තියෙන වගකීම අතිමහත්.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හිදී කෙරෙන සාකච්ඡා මතු වෙමින් වැළලෙමින් යනවා. නමුත් ඒ පිළිබඳ ස්ථිරසාර විස¾දුමකට තවමත් එකඟතාවක් සකස්වී නැති බවයි පෙනෙන්නෙ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කෙසේ විය යුතුද යන්න පිළිබඳව 1998 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා තුළ එන පහත අදහස සම්බන්ධව ඔබගේ අවධානය යොමු කරන්න කැමැතියි.

“කඩදාසි සහතික පදනම් කොටගත් අධ්‍යාපන කඩුල්ල ක්‍රමයෙන් උස් කිරීම උග්‍ර අන්දමින් සිදුවිය. මෙවැනි තත්ත්වයක් නිසා පාඨශාලා පද්ධතිය මුහුණ පෑ ඉරණම වූයේ, පාඨශාලීය විෂයමාලාව ඇතුළු මුළු අධ්‍යාපනයම එක දෙයක්, එනම් විභාගය මුදුනෙහි ලා සැලකුණු ක්‍රමයක අශුභ බලපෑමට යටත් වීමයි. ළමයකුගේ පෞරුෂය හා චරිත වර්ධනයට උදවු විය හැකි නොයෙකුත් වැදගත් විෂය සමගාමී කාර්යය මේ නිසා පාඨශාලාවෙන් දියවී ගියේය. විභාගයේ දරුණු ග්‍රහණයට හසුවීමේ විපාක වශයෙන් උගතමනා දෙයත්, ඒවා උගන්වන ක්‍රමයත්, මහත් සේ හානියට පත්විය.

අධ්‍යාපනය තුළින් සිදුවිය යුත්තේ පරම්පරාවක් සතු දැනුම අනෙක් පරම්පරාවට පවරා දීමත්, එම දැනුම පිළිබඳව විමර්ශනාත්මකව බැලීම සඳහා දරුවන්ට නිදහස ලබා දීමත්ය. එම කාර්යය කෙතරම් සාර්ථකව මේ වනවිට සිදු වන්නේද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතතාවක් පමණයි. මන්දයත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළින් අපේක්ෂා භංගත්වයට පත්වන හේතු මිස දරුවන්ගේ අපේක්ෂා දල්වන හේතු දක්නට නැහැ. එම නිසාම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ වෙනත් ක්ෂේත්‍රයන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය දැනුම සහිත මානව ප්‍රාග්ධනයේ ප්‍රබල උෟනතාවක් පවතිනවා.

මෙරට පාසල් අධ්‍යාපනය බොහෝ විට පන්ති කාමරය තුළ සිදුවන විෂය දැනුමට සීමා වීම සහ ගුරුවරයාගේ දර්ශනයෙන් ඔබ්බට සිතීමට ඉඩක් ලබා නොදීම නිසා එකම ආකාරයේ චින්තනයන්ගෙන් හෙබි රොබෝවරුන් පිරිසක් පමණක් බිහිවීම දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විසින්ම දරුවෙක් නම් මෙසේ විය යුතුය යන සංකල්පය ගොඩනඟා තිබීම නිසා බොහෝවිට සිදු වන්නේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ගුරුවරුන් දුන් දෙයක් එලෙසම පිළිගන්නා දරුවන් පිරිසක් බිහිවීම පමණයි.

එසේ නොවන දරුවන් අකීකරු, නාහෙට නාහන දරුවන් ලෙස වර්ග කර කොන් කිරීමක් පාසල් පද්ධතිය තුළින් සිදුවනු දැකිය හැකියි. මේ සම්බන්ධව පරාක්‍රම කොඩිතුවක්කු විසින් 1974 වසරේදී රචනා කරන ලද, “අකීකරු පුත්‍රයකුගේ ලෝකය” නමැති කවි පොතේ එන විප්ලවවාදියකුගේ නඩු විභාගය, පැදි පෙළෙහි කොටස් පහෙන් පළමු කොටසේ එන පාසලේ රපෝර්තුවේ කියන්නෙ මෙහෙම,

උගන්වන සියලු දේ සැක කරයි

ප්‍රශ්න කරයි

අසම්මත ලෙස සිතයි

විනය ගැන නොසලකයි

හිතුමතේ වැඩ කරයි

හැසිරීම අසතුටුදායකයිත්‍ව,

ශ්‍රී ලංකාවේ පාසල් තුළින් බලාපොරොත්තු වන විනය ලෙස සලකනු ලබන්නේ කොණ්ඩා රැවුල් කැපීම, කොණ්ඩය පැත්තට පීරීම, ගවුමක් නම් දණහිසින් පහළට ගවුම දිගු වීම, කොණ්ඩා කරල දෙකට බැඳීම, රූපලාවණ්‍ය ආලේපන භාවිත නොකිරීම වැනි දෑ පමණයි. නමුත් විනය යන්න එතැනින් බොහෝ දුරක පවතින දෙයක් බැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අධ්‍යාපනය සහ විනය යන දෙකම මඟහැරී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

මෑතකදී ඔබට දකින්නට ලැබෙන්නට ඇති එක්තරා සිසුවකු විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසී එහි සඳහන් දත්ත ලබාගත් නිසා අත්අඩංගුවට ගත් පුවත මෙන්ම තවත් සිසුවකු විසින් සම්පූර්ණ ඉතිහාසය පෙළපොත කටපාඩමින් කියවීමට සමත්කම් දැක්වූ බවට මාධ්‍ය වාර්තා පළවූ බව. මෙම පුවත් දෙක සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ පිරිස් මෙම සිසුන් දෙදෙනාට පක්ෂපාතී වෙමින් අදහස් දක්වනු දක්නට ලැබුණා. නමුත් සැබැවින්ම එම සිදුවීම් දෙක තුළින්ම පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතාවයි.

එක් සිසුවකු ඉතිහාසය පෙළපොත කටපාඩමින් කියවීමට වෙහෙසෙන්නෙ ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමය අනුව ඉතිහාසය වැනි විෂයක් මතක තබා ගැනීම සඳහා කටපාඩම් කිරීම අත්‍යවශ්‍ය වීමයි. එයින් ඔබ්බට ගොස් දරුවාට පහසු ආකාරයෙන් මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් ඊට සමගාමීව ඇගයීම් ක්‍රම්වේදයක් සැකසීමටත් මෙරට අධ්‍යාපනඥයන් අසමර්ථ වී ඇති බවයි ඒ අනුව පෙනී යන්නෙ.

දෙවැනි සිසුවා විසින් සිදු කරනු ලැබූ ක්‍රියාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පාසල් පද්ධතිය වසර 13ක් තිස්සේ දරුවන්ට හුරු කරනු ලැබූ විනය සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වෙනවා. ඒ අනුව අධ්‍යාපනය ලබා දීම සහ විනය සකස් කිරීම යන අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අසමත් වී තිබෙනවා. නමුත් මෙහිදී දැකිය හැකි විශේෂම කරුණ වන්නේ ඉහත දැක්වූ දරුවන් දෙදෙනා සතු හැකියාවයි. එක් දරුවකුගේ මතක ශක්තියත්, අනෙක් දරුවාගේ ප්‍රායෝගිකත්වයත් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් වැඩිහිටියන් විසින් විනාශ කරමින් සිටින්නේ රටේ අනාගතය බව පැහැදිලියි.

අප විසින් හොඳින් මතක තබා ගතයුතු වන්නේ ලෝකය වෙනස් කරන ලද බොහෝ පුද්ගලයන් ලෝකය ගමන් කරන දිශාවට ගමන් කළ පුද්ගලයන් නෙවෙයි, ඊට වෙනස් මඟක් ගත් පුද්ගලයන්. එම නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනස් මඟක් ගන්නා දරුවන්ට සවියක් විය හැකි අධ්‍යාපන ක්‍රමයක් වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා මෙරට අධ්‍යාපන ක්‍රමයට සාපේක්ෂව වඩා හොඳ අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවලින් ආදර්ශ ලබාගෙන ශ්‍රී ලංකාවට ආවේණික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සියලුම අධ්‍යාපනඥයන් විසින් කටයුතු කළ යුතු සමය එළැඹී පවතිනවා.

චතුරංග හතුරුසිංහ