පොත් සියයක් අරන් ගෙදර තියනවාට වඩා වටින්නේ එක පොතක් හරි කියවීමයි

0
122

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය වැනි අර්බුද සාහිත්‍ය නිර්මාණකරණයටද එල්ල කළේ දැඩි බලපෑමකි. පාඨකයන්ද මුද්‍රිත පොත්පත්වලින් අෑත් වී සමාජ මාධ්‍යයන් වෙත වැඩි නැඹුරුවක් දැක්විණි. පැවැති තත්ත්වයෙන් තරමක් නිදහස් සමාජ වාතාවරණයක් ඇති වූ බැවින් මෙවර සාහිත්‍ය මාසය පිළිබඳ නිර්මාණකරුවන්ගේ, පාඨකයන්ගේ, ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ යම් උනන්දුවක් ඇතිවී තිබෙන බව පෙනේ. නමුත් වත්මන් ආර්ථික අර්බුදය මඟින්  මුද්‍රණ කර්මාන්තයට එල්ල කරන බලපෑම නිසා නිර්මාණකරුවාට පමණක් නොව පාඨකයාටද  ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර පුස්තකාලවලින් පාඨකයන් අෑත්වන බවක්ද පෙනේ.

පුස්තකාලයකින් වර්තමාන පාඨකයන් නිසි ප්‍රයෝජන ගන්නේද? කියවීම සඳහා පුස්තකාල පහසුකම් ගොඩනැඟිය යුත්තේ කෙසේද? කඩාවැටුණු මුද්‍රණ කර්මාන්තය ගොඩනැඟීමේ රජය සතු වගකීම කෙබ¾දුද? ආදී කරුණු සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, ජේ‍යෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

වර්තමානයේ පාඨකයන් පුස්තකාලයෙන් අෑත් වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා නේද?  

එදා සහ අද අතර තුලනාත්මකව බැලුවොත් පුස්තකාලවලට එන පාඨක ප්‍රජාවගේ විශේෂ අඩුවීමක් පෙන්නුම් කරන්නේ නෑ. පාඨකයෝ පුස්තකාලවලට එනවා. ඒත්  පුස්තකාලය සටහන් කියවන තැනක් බවට පත්කරගෙන තිබීම තමයි ගැටලුව තියෙන්නේ. බොහෝ අය පුස්තකාල භාවිත කරන්නේ  තමන්ගේ සටහන් කියවන්න. පුස්තකාල තියෙන්නේ රීඩින් රූම් සංකල්පයට නෙවෙයි. දැනුම වෙත පිවිසෙන්න.

නමුත් අද පාඨක ප්‍රජාව විශේෂයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් තමන්ගේ සටහන මත යැපෙන කොටසක් බවට පත්වෙලා තියෙනවා. ඒකෙන් මිදෙන්න ඕන.  එදා මෙදා කාලය තුළ ලේඛකයන්ගේ, දාර්ශනිකයන්ගේ, අධ්‍යාපනඥයන්ගේ නව අදහස් ඇතුළත් පොත්පත් රැසක් පුස්තකාලවල  තියෙනවා.  එම අත්දැකීම්  තමන්ගේ ජීවිතයට සමීප කර ගන්න ඕන. අද සමාජයේ පුද්ගලයන්   විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. එම අභියෝගවලට මුහුණ දීමේදී දැක්විය යුතු ප්‍රතිචාර ඔය අභියෝගවලටම මුහුණ දීපු මිනිස්සුම ලියපු පොත්වල තියෙනවා.

අද පාඨකයන් විද්‍යුත් සහ සමාජ මාධ්‍යයේ බලපෑමට ගොදුරු වීම කියවීම් සමාජයට ඇතිකරන බලපෑම කෙබ¾දුද?

කියවීම් සමාජයට අන්තර්ජාලයෙන්  බලපෑමක් එල්ලවෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. පුස්තකාලවලට වඩා නව තොරතුරු අන්තර්ජාලයෙන් සොයා ගැනීමේ හැකියාව තිබෙන නමුත් ගූගල් එක දෙන හැම තොරතුරක්ම සත්‍යයද කියලා ප්‍රශ්නයක්. පොත්පත්වල තියෙන්නේ සත්‍ය තොරතුරු. අන්තර්ජාලයේ තියෙන්නේ ඕනම කෙනකුට නිර්මාණය කරන්න පුළුවන් තොරතුරු. ළමයින් අතර වගේම බොහෝ පිරිසක් අතර ප්‍රචලිත විකිපීඩියා ඕනම කෙනකුට සංස්කරණය කරන්න පුළුවන්.

පොතක් විදිහට තියෙන බි්‍රටැනිකා විශ්වකෝෂය කිසිකෙනකුට සංස්කරණය කරන්න බෑ. ඒ අදහස් මුල් ලේඛකයා සතුයි. ඒ වගේම අන්තර්ජාලයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු සීයක් දෙනවා. පොත දෙන්නේ එක පිළිතුරයි. විශ්වසනීයත්වයක් තියෙනවා. මේ නිසා අන්තර්ජාලයේ තියෙන ඇතැම් ශුන්‍යතා ළමයින්ට පැහැදිලි කළ යුතුයි. පොත්වලට ළමයි පිවිසීමේ ක්‍රම හදන්න ඕන. බොහෝ අය හිතාගෙන ඉන්නේ මුද්‍රිත පොත් ඔක්කෝම අන්තර්ජාලයේ තියෙනවා කියලා. මුද්‍රිත පොත් ඔක්කොම අන්තර්ජාලයේ නෑ.

කෞතුකාගාර පුස්තකාලයේ පොත් ලක්ෂ 14ක් තියෙනවා. මේ ලක්ෂ 14න් දශම ගාණක්වත් අන්තර්ජාලයේ නෑ. ඒකට අපි පොත් පරිශීලනය කරන්නම ඕන. සමාජ මාධ්‍ය භාවිතයට ගියාට පස්සේ එකේ වහල්ලු බවට පත් වෙලා ඉන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි පාඨකයොත් ඒ තත්ත්වයට පත්වෙලා. ෆේස්බුක් වටේම කැරකෙනවා. ෆේස්බුක් එන්න ඉස්සෙල්ලා ඔවුන් කළේ අන්තර්ජාලයේ දැනුම සොයාගෙන යෑම. අද ඒකෙන් අයින් වෙලා ගොසිප් මත කැරකෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ෆේස්බුක්වල ඔක්කෝම නරකයි කියලා. ඒත් පොත්වල තියෙන්නේ  දැනුම වර්ධනය කරන කරුණු.

කොවිඩ් වසංගතය නිසා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ විශාල පසුබෑමකට හේතු වුණා

පොත්පත්වලින් මිනිස්සු අෑත්වෙන්න හේතු ඒ ඒ කාලෙට සමාජ වටපිටාවත් එක්ක වෙනස් වෙනවා. කොවිඩ්  වසංගත කාලයේ මිනිස්සු පොත්වලින් අෑත් වෙන්න එක හේතුවක් වුණේ කොවිඩ්  විසබීජ කඩදාසි මත යැපෙන ප්‍රමාණය වැඩියි කියලා පැවසුණු නිසා. එම විසබීජ පැය 24කට වඩා කඩදාසිවල රැඳෙනවා.

එවැනි අවස්ථාවක විද්‍යුත් මාධ්‍ය තුළින් තොරතුරු ලබා ගන්න පුළුවන්. මිනිසාගේ පරම මිතුරා බවට පත්වුණු  පොත කොවිඩ් කාලයේ මිනිසාගේ පරම හතුරා බවට පත්වුණා. මේක ලොකු ගැටලුවක් වුණා. පුස්තකාල වැහිලා ගියා, ග්‍රන්ථ වෙළෙඳපොළ කඩාගෙන වැටුණා. මිනිස්සුන්ගේ පොත්පත් මිලදී ගැනීමේ හැකියාව බින්දුවට බැස්සා. ඒ කාලේ  ලෝකෙට අලුත් සංකල්පයක් ආවා නැවත කියවීම rereading& කියලා. එම වර්ෂ කිහිපය තුළ තමන් ළඟ තියෙන පොත් නැවත නැවත කියවන්න පටන් ගත්තා. ඒ වගේ දේවලුත් පොත්පත් කියවීමට පැහැදිලිව බලපානවා. අනිත්  එක තමයි වර්තමාන සමාජයේ කඩාගෙන වැටුණු   ආර්ථිකය. බංකොලොත් රටක කියවීම් සමාජයක් ගොඩනැඟීම හරිම අපහසුයි.

ලේඛකයන්ට පොත්පත් ලිවීමේ වටපිටාවක් නෑ. කඩදාසි අහස උසට නැඟලා. මුද්‍රණ කේෂ්ත්‍රයේ  මිල අහස උසට නැඟලා. ඉතා අමාරුවෙන් පොතක් ලියන ලේඛකයාට කිසි පිළිසරණක් නෑ. ඒ ගණන  කවදාවත් ආවරණය කර ගන්න බෑ. දැන් සාහිත්‍ය මාසය පටන් අරන් තියෙනවා. වෙන සාහිත්‍ය මාසවල කොයිතරම් පොත්පත් ‍ෙදාරට වැඩීම් තියෙනවාද? කලින් අපේ රටේ ලේඛකයෝ පොත්පත් ලියලා ‍ෙදාරට වඩින්න බලාගෙන ඉන්නේ.

අද පොතක් ලියනවා කියන එක අමුතු වික්‍රමයක් වෙලා. පාඨකයෝ කියවන්න කැමැතියි. ඒත් පොත් ගන්න සල්ලි නෑ. පාඨකයාට පහසුවෙන් කියවන්න තිබුණු ස්ථානය පුස්තකාලයනේ. පුස්තකාලයට ඒතරම්වත් සල්ලි නෑ. දෛනික වැඩකටයුතුවලටවත් අවශ්‍ය සල්ලි වෙන්වෙන්නේ නෑ. පුස්තකාලය ලෝකය දෙස බලන කවුළුවක් කියලා කිව්වාට ආර්ථික අර්බුදය හමුවේ අම්බලම් බවට පත් වෙලා තියෙනවා. ඒක ප්‍රබල වෙලා තියෙනවා මේ සාහිත්‍ය මාසයේ. සාහිත්‍ය මාසය කියන්නේ ලේඛකයන්ගේ වසන්ත සමය. ඒත් අද මේ සාහිත්‍ය මාසය කඩා වැටිලා. ලේඛකයො විතරක් නෙමෙයි ග්‍රන්ථ නිෂ්පාදකයෝ වෙනත් කර්මාන්තවලට මාරුවෙන්න පටන් අරන් තියෙනවා.

කෙසේ වුවත් පොත් ප්‍රදර්ශනය සාහිත්‍යකරුවන්ට වගේම පාඨයන්ට හොඳ පිටුබලයක් නේද?

පොත් ප්‍රදර්ශනය ලංකාවේ පටන් අරගත්තු හොඳ දෙයක්. මොන බාධක ආවත් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙය සංවිධානය කරනවා. එය අගය කරන්න ඕන. එතන ගැටලුවක් තියෙන්නේ මිනිස්සුන්ගේ පොත්පත් කියවීමේ හැකියාව තවම අපට හිතන්න බෑ. පොත් විදෙස් රටවලින් අපට ගෙන්වන්න පුළුවන් වෙයිද? ඒවායේ මිල ගණන් අනුව පාඨකයාට මිල දී ගන්න පුළුවන් වෙයිද? ලේඛකයන්ගේ පොත්පත් උපන්ගෙයි පරවෙලා යන මල් වගේ. එහෙමම මියයනවා.

පොත්පත් නැත්නම් ලෝකය නිහඬයි. ලෝකය අවදි කළේ පොත්. කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් කියන්නේ ලෝකය වෙනස් කළ පොතක්. පන්සිය පනස් ජාතකය කියන්නේ අපේ සංස්කෘතිය මුලින්ම වෙනස් කළ පොතක්. මේ වාගේ පොත්වලින් පවා මින්සුන්ට අෑත් වෙන්න වෙලා තියෙනවා. පිටපත් ගන්න බෑ. තියෙන ඒවා  සංරක්ෂණය කර ගන්නත් බෑ.

යුනෙස්කෝ සංවිධානය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම කියනවා කුඩා කල සිටම කියවීමට යොමු කිරීම පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථානවල වගකීමක් කියලා. කියවීම් සමාජ බිහි කරන්නට ඕන පාසලෙන්. ලංකාවේ පාසල් 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. පාසල් පුස්තකාල 6000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ කඩා වැටිලා තියෙන සමාජය ගොඩගන්න නම් යහපත් ආකල්පවලට මේ සිසුන් පුරුදු කරන්න ඕන. පාසල් පුස්තකාල 6000 විධිමත් කරන්න ඕන. මේවා පාලනය කරනු ලබන පුස්තකාලයාධිපතිවරුන්ගේ තත්ත්වය උසස් කරන්න ඕන.

විශ්වවිද්‍යාල මට්ටමෙන් මොනවගේ කටයුතුද කෙරෙන්නේ?

කැලණිය විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පුස්තකාල සංගමය, ජාතික පුස්තකාල සේවා මණ්ඩලය එකතු වෙලා පාසල් ගුරු පුස්තකාලයාධිපති ව්‍යවස්ථාවක් හැදුවා. මේ වෙනකම් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. මේ වගේ තත්ත්වයක් යටතේ අපට හිතන්න බෑ කවදාවත් ලංකාවේ පාසල් පුස්තකාල තුළින් කියවීම්  සමාජයක් බිහිකරන්න පුළුවන් කියලා. ගුරු පුස්තකාලයාධිපති ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ අලුත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන. මේක හදලා ඉවරයි. මේකට සල්ලි යන්නේ නෑ. මේක ක්‍රියාත්මක කළා නම් නව පිබිදීමක් ඇතිවෙනවා.

ඒත්  මේ  ඇතිවෙන්නේ පරිපූර්ණ නොවූ පුරවැසියන් බිහිවෙන යුගයක්. කියවීමෙන් මිනිස්සු පරිපූර්ණ වෙනවා. දැන් වෙලා තියෙන්නේ පාසල් පුස්තකාල අකර්මණ්‍ය වෙලා. ළමයි යන්නේ ෆෝන් එකට. කෙළින්ම ඩිජිටල් පැත්තට. කලින් අපි ළමයකුට පොතක් හෝ පත්තරයක් දුන්නා. දැන් ඒ ළමයා පොතක් පත්තරයක් ගන්නවාද. අද ඒ ළමයා දා ගන්නේ රීලෝඩ්  එකක්. මේක තමයි ප්‍රශ්නය. ෆෝන් එක නැත්නම් ළමයා නළවන්නවත් බෑ. අද ඉපදෙන්නේම ෆෝන්  එක බලාගෙන. මිය යන්නෙත් ෆෝන් එකෙන්. කවුරු ජනාධිපති වුණත් කවුරු අධ්‍යාපන ඇමැති වුණත් සමාජය කියවීම් සමාජයක් බවට පත් කරන්න ඕන.

ග්‍රාමීය පුස්තකාල කියවීම සඳහා පෙලඹවීමක් නෑ නේද?

අපේ පුස්තකාල යල්පැන ගිය කියවීම් මූලාශ්‍රවල තෝතැන්නක් වෙලා තියෙන්නේ. පාඨකයෝ එතැනට යන්නේ පත්තරේ බලන්නයි, සංවර්ධන ලොතරැයි ප්‍රතිඵලය බලන්නයි. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. හිටපු ජනාධිපතිවරයාට අපේ අධ්‍යයන අංශයෙන් විශේෂ ඉල්ලීමක් කළා ශ්‍රී ලංකාවේ පුස්තකාල නඟාසිටුවීම පිළිබඳ කාර්යසාධක බළකායක් පිහිටුවන්න කියලා. කිසිදු පිළිතුරක් ඒකට ආවේ නෑ. පුස්තකාලවලට ඉහළින්ම අවධානය දෙන්න ඕන.

නැත්නම් කිසිදු ප්‍රාදේශීය සභාවක් ගණන් ගන්නේ නෑ. එහෙම වුණොත්  අපට පුළුවන් මේවා අලුත් කරන්න. ලංකාවේ ලොකුම පුස්තකාලය ජාතික කෞතුකාගාර පුස්තකාලය. පොත් ලක්ෂ 14කට වඩා ඒකේ තියෙනවා. නමුත් ඒකට අවධානයක්  නෑ. පොත් දවසින් දවස විනාශ වෙනවා. ලෝකයේ වෙනත් රටවල් ඔවුන්ගේ ලොකුම පුස්තකාලය පූජනීය ස්ථානයක් විධියට සලකන්නේ. අපේ රටේ ලොකුම පුස්තකාලය තියෙනවාද නැද්ද කියලාවත් පාඨකයෝ දන්නේ නෑ.

එක කාලෙක රජ්ජුරුවන්ගේ කඩුව නැතිවුණා කියලා මාධ්‍ය ප්‍රචාරයක් ගියා. ඒ කඩුවට වඩා බලවත් පොත්පත් රාශියක් දිරා යමින් පවතිනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. දැන්වත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. එහෙම නැතුව ලංකාව ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක් බවට  පත් කරන්න බෑ. බංකොලොත් වුණු රටක ඇති වෙන්නේ බංකොලොත් වුණු මිනිස්සු. බංකොලොත් වුණු රටේ ධනාත්මක චින්තනය සහිත මිනිස්සු බිහි කරන්න නම් පොත් සංස්කෘතිය සංවර්ධනය කරන්න ඹ්න.

කියවීම ප්‍රවර්ධනය සඳහා ඔබගේ අධ්‍යයන අංශයෙන් කරන කටයුතු මොනවාද?

අපේ අධ්‍යයන අංශයෙන් නේත්‍රා කියලා වැඩසටහනක් පටන් ගත්තා. මේකෙන් කරන්නේ ලංකාවේ විවිධ පළාත්වල දුෂ්කර පාසල් තෝරාගෙන ඔවුන්ට පොත්පත් පරිත්‍යාග කරනවා. ජයමඟ රූපවාහිනියත් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ඒ පළාත්වල අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ තමයි  සුදුසු පාසල් තෝරා ගැනීම කරන්නේ.

මේ වනවිට සබරගමුවේ, ඇඹිලිපිටිය පළාතේ පාසල් 40කට පොත් ලබා දුන්නා. මීළඟට උතුරු – මැද පළාතේ තෙල්දිනන් වැව පාසල් 40කට මේ පරිත්‍යාගය කළා. මීළඟට වයඹ පළාතේ පාසල් 40කට මේ පරිත්‍යාගය කරන්න යනවා. අපේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලය තුළට අපේ සේවය සීමා නොකර රටේ අනාගත පුරවැසියන්ගේ දැනුම්  චින්තනය වර්ධනය කිරීමට උදවු කිරීම. රට බංකොලොත් වුණාට මෙච්චර කල් ලංකාවේ මිනිස්සුන්ගේ  හිත බංකොලොත් නෑ.

මිනිස්සු කැමැතියි දෙන්න. හැබැයි ඔවුන් කැමති නෑ දේශපාලනඥයෝ ඉන්න තැනකට දෙන්න. අපේ වේදිකාවේ දේශපාලනඥයො නෑ. එකේ ඉන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව. මම ආරාධනා කරනවා සියලුම ප්‍රජාවට පොත් අරගෙන  අපේ වේදිකාවට ගොඩ වෙන්න කියලා. කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අදාළ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ඒ තැන්වලට ගිහින් අපි මේවා භාර දෙනවා. මෙය කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කරන විශාල කර්තව්‍යයක්. ජාතික සංවර්ධනයට දායක වෙන්න නම් මිනිස්සු හදන්න ඕන. නේත්‍රා වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් බවට අද පත්වෙලා තියෙනවා.

බොහෝ දෙනා අද පොත් ගන්නේ විලාසිතාවට. ගන්න පොත් කියවන්නේ නෑ

සාහිත්‍ය මාසයේ  ගන්න පොත් විලාසිතාවක් විදිහට පැත්තකින් තියන එක තමයි අපේ අය කරන්නේ. ඒ විලාසිතාවෙන් අයින් වෙන්න ඕන. පොත් සියයක් අරන් ගෙදර තියනවාට වඩා එක පොතක් අරන් කියවන එක වටිනවා. පොත කියන්නේ වෙනස් වෙන්නේ නැති මිතුරෙක්. අපි ළඟ ඉන්න මිතුරා හෙට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගම්පෙරළියේ පියල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ගැහැනු ළමයි කුසුම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.

පොත් ලෝකයට මිනිස්සු ගෙන්වා ගත්තොත් ලොකු විප්ලවයක් කරන්න පුළුවන්. ලෝකයේ හිටිය හැම රාජ්‍ය නායකයාම මේක හ¾දුනා ගත්තා. ලෙනින් පැහැදිලිවම  කිව්වා පොත් ලෝකයට රුසියාව විවෘත කරන්න ඕන කියලා. ඔහු කිව්වේ සාක්ෂරතාවයෙන් තොර පුද්ගලයා අන්ධයෙක්. ඔහු පිටුපස පරාජය සහ අවාසනාව ලුහුබඳිනවා කියලා. යහපත් ආකල්ප තියෙන්නේ පොත්වල. හැරි පෝටර් ගැන දැන ගත්තාට මහදැනමුත්තා ගැන ළමයි දන්නේ නෑ. ඒකයි අපට තියෙන ප්‍රශ්නය. ජේ.කේ. රවුලින් බි්‍රතාන්‍ය  12 වැනි කෝටිපතියා. ඒතැනට ආවේ  පොත්වලින්.

අද අපේ පොතක් ගහනවා කියන්නේ ආපදාවක්. ලංකාවේ ඉතාම විශිෂ්ට නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අය අද අසරණ වෙලා ඉන්නේ. අපේ රටේ අත්පිටපත් රචකයන්ට ප්‍රමාණවත් මුදලක් දෙනවා නම් ඒ අයව ගොඩ ගන්න පුළුවන්. මේක ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයෙන් කරගෙන ආවා. නමුත් මේ ව්‍යාපෘතිය අද මන්දගාමී වෙලා තියෙනවා. අලුත් ලේඛකයන්ට අතදෙන ව්‍යාපෘති දියත් කරන්න ඕන. එහෙම වුණොත් සාහිත්‍ය සම්මානයන්ට හොඳ පොත් නිර්දේශ වෙයි. පාන් මිල, ඉන්ධන ගැන කතා කළාට පොත් ගැන කවුද කතා කරන්නේ.

ලේඛකයන්ගේ චින්තනය යන්නේ ෆේස්බුක්වල නෙවෙයි කඩදාසිය මත. වර්තමාන ජනාධිපතිවරයා දැඩි කනස්සල්ලෙන් කතා කළා තමුන්ගේ පොත්  2500ක පුස්තකාලය විනාශ වුණා කියලා. එතුමා හිතන්න ඕන මේ කඩදාසි නැතුව අනික් මිනිස්සුන්ගේ චින්තනයත් විනාශ වෙනවා කියලා. කඩදාසි කර්මාන්තයට විශේෂ අනුග්‍රහයක් දෙන්න ඕන කියලා. පොත්පත් ප්‍රකාශකයන් මේ කඩා වැටීමෙන් ගලවා ගන්න ඕන කියලා හිතන්න ඕන.

යාපනයේ  මහජන පුස්තකාලයේ පොත් 97,000ක් තිබ්බා. මේ පුස්තකාලය විනාශ වුණා කියලා දැන ගත්තාම ඒක හදන්න මුල්වුණු ඩේවිඩ් පියතුමාට හෘදයාබාධයක් හැදිලා එවෙලේම ස්වර්ගස්ථ වුණා. බුදුන් වහන්සේට තබපු වෙඩි පහරක් කියලා තමයි කිවිවේ. අද ලංකාවේ පොත් කියන්නේ සුඛෝපභෝගි භාණ්ඩ. පොතක් ගන්න නම් ණයක් ගන්න ඕන මට්ටමට පත්වෙලා තිබෙනවා. පුස්තකාල විද්‍යාවේ  නීතියක් තියෙනවා පොත් ඇත්තේ භාවිතය සඳහා කියලා. නමුත් අද පොත් තියෙන්නේ ප්‍රදර්ශනයට පමණක් බවයි පේන්නේ.