පුස්තක ප්‍රේමය මස්තබාල්දු වීම

0
61

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉකුත් 18දා අනුරපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගොස් විහාරාධිකාරී පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් මුණ ගැසුණි. “අගමැතිතුමනි, අද රටේ ආර්ථිකය පමණක් නොවෙයි විනයත් හොඳටම පිරිහිලා. මා දකින හේතුව තමයි දරුවන්ට හරියට අධ්‍යාපනයක් නොලැබීම.” පඤ්ඤානන්ද හිමියෝ අග්‍රාමාත්‍යවරයාට, රටට සිදුවී තිබෙන විනාශය ගැන කරුණු පැහැදිලි කළහ. සැබවින්ම මේ නම් මුළු රටටම දියයුතු පණිවුඩයකි.

සාමාන්‍ය ගිහි සමාජයේ පමණක් නොව දැන් ගිහියන්ට බණ දහම් කියාදී ඔවුන් හික්මවන්නට කටයුතු කරන බව කියන පැවිදි සමාජයෙන්ද බිහිසුණු අපරාධ ගැන තොරතුරු අසන්නට ලැබෙයි. මේ ඊයේ පෙරේදා පන්සලක විහාරාධිපති හිමිනමක් ඝාතනය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය හිමිනම රට පනින්නට ගිය තැන අත්අඩංගුවට පත්වූ පුවතක් පුවත්පත් මුල් පිටුවලින් වාර්තා කෙරිණි. මේ ධර්මද්වීපය යන විරුදාවලියෙන් කීර්තිමත් වූ දේශයක අබුද්දස්ස යුගයේ සිදුවීම්ය. සමස්ත සමාජයම බිහිසුණු අපරාධවලින් වෙළීගෙනය. නීතිය, ධර්මය, යුක්තිය, සාධාරණය, අධිකරණ ක්‍රියාමාර්ග, දණ්ඩනීති ආදී වූ වදන් වැල් දිගින් දිගටම ඇසෙයි. එහෙත් මේ බිහිසුණු අපරාධවල නිමාවක් පෙනේද?

අද මේ කතුවැකිය රටේ සිදුවන අපරාධ ගැන කියන්නටම නොවේ. ඒ සම්බන්ධ ඕනෑ තරම් වාර්තා පළවෙයි. රටේ සමාජයේ සාමය නීතිය සුරකින්නට පොලිසියද සිටී. නඩු විභාග කරන්නට දඬුවම් දෙන්නට ක්‍රමවිධි උසාවි සක්‍රියව පවතී. එසේ නම් නැත්තේ කුමක්ද? පූජ්‍ය පඤ්ඤානන්ද හිමියන් අගමැති ඉදිරියෙහි කියා ඇති විනයයි, අධ්‍යාපනයයි. විනයත් අධ්‍යාපනයත් ලැබෙන්නේ පාසලින් පමණද? නැත. ඒ සියල්ල සඳහා සමස්ත සමාජ ක්‍රමයම බලපායි.

එක්තරා යුගයක මේ රටේ ප්‍රතාපවත් පාලකයෙක් සිටියේය. ඉකුත් සැප්තැම්බර් 17දාට ඔහුගේ 116 වැනි ජන්ම දිනය යෙදී තිබිණි. ඔහු ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්. වරක් මහජනතාව අමතමින් සාහිත්‍යය කන්නට දැයි විමසුවේය. ඒ කියන්නේ සාහිත්‍යයෙන් බඩ පිරෙන්නේ නැත යන කතාවය. ඇත්තය. බඩ නම් නොපිරෙයි. එහෙත් එයින් සිත පිරෙයි. මිනිසාද පිරෙයි. දැනුම, නුවණ සපිරෙයි. විනය සුරැකෙයි. අවසන දේශාභිවෘද්ධියට හිතකර වූ සංස්කෘතික මිනිසා පහළ වෙයි. අද වර්තමාන සමාජය තුළ දුර්ලභ වී ඇත්තේ ඒ උදාර සංස්කෘතික මිනිසුන්ය. අධ්‍යාපනය එවැනි මිනිසුන් තනන මංපෙතය.

අධ්‍යාපනය සමාජයෙන්ද ලැබෙයි. ඇසුරෙන්ද ලැබෙයි. පොත පත කියවීමෙන්, හැදෑරීමෙන් ද ලැබෙයි. අධ්‍යාපනය නොලද කල අපේක්‍ෂිත සංස්කෘතික මිනිසා බිහිවන්නේ නැත. මේ රටේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ගිනිගත් පුස්තකාලය ගැන මහත් සංවේගයෙන් කතාකරනු පෙනිණි. ඔහු එය හඳුන්වා තිබුණේ තමා එක් රැස් කළ ධන සම්භාරය ලෙසය. විය හැකිය. පොත පතට ආදරය කරන මිනිසුන්ට තමන් සරි කළ වටිනා ධන සම්භාරය වනුයේ ඒ පොතපතමය. එදා දේශපාලනික ජාතිවාදීන් යාපනයේ පුස්තකාලය ගිනි තැබීමෙන් කළ විපතින් තැවුණු එහි පොත පත කියවා තිබූ පාඨකයන් හඬා වැටුණු සැටි එකල අසන්නට දකින්නට ලැබිණි. පොත පතෙහි වටිනාකම දකින්නේ සිතන්නේ ඒවා කියවන හදාරන පිරිසමය.

ඉකුත් 16දා ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තවත් දින 6ක් ඉදිරියට අඛණ්ඩව පැවැත්වෙනු ඇත. ගෙවී ගිය දින කිහිපයෙහි එහි රොද බැඳ ගත් ජනතාව මහත් සොම්නසින් පොත්පත් පිරුණු කුටිවල සැරිසරනු පෙනිණි. ඉකුත් වසර දෙකෙහිම මේ මහා පොත් දැක්ම පැවැතුණේ නැත. ඒ කොවිඩ් වසංගතය හා රට මුහුණ දුන් බරපතළ ආර්ථික ව්‍යසනය හේතු කොට ගෙනය. පාසල් වසා දමා සීමා මායිම් තහංචි පනවා ජනතාවගේ ගමන් බිමන් අත්හිටුවූ කල මොන පොත්ද? පොත් සොයනවාට වඩා එදිනෙදා ආහාර වේල සොයා ගැනීම බොහෝ දෙනාට ගැටලුවක් වී තිබිණි. එසේ වුවද සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වූ තර්ජන ගර්ජන සංස්කෘතික මිනිසාගේ පැවැත්මටද දැඩි ලෙස බලපා තිබූ බව රහසක් නොවේ.

කියවීමෙන් පූර්ණ මිනිසකු ගොඩනැඟෙන බව බේකන් සාමිවරයා ප්‍රකාශ කොට බොහෝ කල්ය. පූර්ණ පාසල් අධ්‍යාපනයක් නොලද අය පවා කියවීමෙන් තම තමන්ගේ ජීවිත පූර්ණත්වයට පත්කර ගත් අය බොහෝ වෙති. දිවි හැරගිය ප්‍රවීණ ලේඛක ජී. බී. සේනානායක තම ජීවන අත්දැකීම් ඉදිරිපත් කරමින් ලියූ ‘විනිවිදිමි අඳුර’ කෘතියෙහි කොළඹ මහජන පුස්තකාලය තමන්ගේ එකම සරසවිය බව කියා තිබේ. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහද අතට හසුවුණු පත්තර කොළ කැබැල්ලේ සිට විවිධ විෂයගත දැනුමැති පොතපත කියවා ජීවිත පරිඥානය පුළුල් කරගත් ලේඛකයෙකි. ඔහු ලියූ ‘උපන්දා සිට’ කෘතියෙන් ඒ අත්දැකීම් හෙළිකරයි.

පොතපත මුද්‍රිත මාධ්‍ය ක්‍රියාදාමයකි. මුද්‍රිත මාධ්‍ය සඳහා මුද්‍රණ කර්මාන්තයේ ප්‍රගතිය අත්‍යවශ්‍ය වේ. පොතපත මුද්‍රණයට කඩදහි අවශ්‍යය. තීන්ත අවශ්‍යය. මුද්‍රණ තහඩු අවශ්‍යය. යන්ත්‍ර සූත්‍ර අවශ්‍යය. ඒවා අලුත්වැඩියා කිරීම සඳහා උපාංග අවශ්‍යය. රජය පනවා තිබෙන ආනයන සීමා හේතුකොට ගෙන මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේ සීමා වෙමින් පවතී. ඇතැම් මුද්‍රණාල වැසී යන තත්ත්වයක්ද උදාවෙමින් තිබේ. පොත්පත්, පුවත්පත් මුද්‍රණයට විවිධ සම්බාධක නිර්මාණය වෙමින් තිබේ. මෙම අර්බුදයේ ප්‍රතිඵල දියුණු පාඨක සමාජයක් නිර්මාණය කරලීමේ අරමුණට බාධා පමුණුවයි.

පොතපතෙහි මිල වැඩිය. එදිනෙදා පුවත්පත්වල මිල ගණන් වැඩිය. ඇතැම් පුවත්පත්වල පිටු අඩුය. පාඨකයාට රිසි සේ කියවන්නට ඇති ඉඩහසර ඇහිරෙයි. මේ සියල්ලට හේතුව ඩොලර් අර්බුදය බව කියයි. ඩොලර් අවශ්‍ය වූයේ මේවා මේ රටේ නිෂ්පාදනය නොකෙරෙන බැවිනි.  වරද කාගෙද? නිදහසින් පසු මේ රටේ බිහිවූ සියලුම පාලකයන්ගේය. අඩු තරමින් මුද්‍රණ යන්ත්‍ර කෙසේ වෙතත් පොතපත මුද්‍රණයට අවශ්‍ය කොළ ටිකවත් නිපදවා ගන්නට බැරිතැනට මේ රටේ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබේ. පොත් මුද්‍රණයේදී 30%ක් 32%ක් තරම් මුදලක් වැය වන්නේ කඩදහිවලටය. කඩදහි මිල අද වන විට 150%කින් පමණ ඉහළ නැඟ තිබේ. ඉන්ධන අර්බුදය හේතුවෙන් බෙදාහැරීම් කටයුතු අඩපණ වී තිබේ. පාඨකයා පොතපතින් අෑත් වෙන්නට පටන්ගෙනය. මේ තත්ත්වය අරුමයක් නොවේ.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙබඳු කාල පරිච්ඡේදයක අත්‍යවශ්‍ය වූවක්මය. නියං සමයකට පසුව ඇදවැටුණු පොද වැස්සක් මෙනි. අඩු තරමින් එක පවුලකට එක පොතක් හෝ මිලට ගන්නට මෙය අවස්ථාවක් කරගන්නේ නම් එය මේ උත්සාහය අගය කිරීමක් වෙයි.