නිශාචර සුද්දන්ට විනෝදය සපයන Night Life එකකට යං

0
52

ලයිට් පත්තු වෙන, නිවි නිවී දැල්වෙන කොළඹාංධකාරය හරි ගැඹුරුයි. රෑ 11න් පස්සේ මිනිස් පුළුටු හරිම අඩුයි. පොදු ප්‍රවාහන පහසුකම් සීමිතයි. අපේ රටේ මිනිස්සු ලංකාවේ ඇත්තටම ලස්සන දකින්නේ ආලෝකයත් සමඟ විතරයි. බහුතරයක් අපේ රටට පැමිණෙන විදේශිකයෝ නයිට් ලයිෆ් එක අත් විඳින්නේ රාත්‍රි සමාජ ශාලාවකින් හෝ කුමක් හෝ රාත්‍රි උත්සවයකින් පමණයි.  රාත්‍රිය මනරම්  කියලා දැනෙන්න වෙසක්  හරි නත්තල් හරි එන්නම ඕනෙ. ඔන්න ඔහොමයි ලංකාවේ නයිට් ලයිෆ් එක.

පසුගිය දින කීපයේම රටම නයිට් ලයිෆ් ටොෆියෙන් රස ගැන්වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ කතාවක් නිසා.

මේ වචන දෙක ඇහෙද්දී විවිධ මතවාද මෙන්ම  සෙක්ස්, ඩ්‍රග්ස් වගේ මේ හා බැඳුණු වචන ලංකාවෙ මිනිසුන්ගේ මුවින් ගලා ගෙන එනවා.

ඇත්තටම මොකක්ද මේ නයිට් ලයිෆ් එක?

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය, ඩුබායිහි UAE, තායිලන්තයේ බැංකොක්, නිව්යෝර්ක්, ප්‍රංශයේ පැරිස්, ස්පාඥ්ඥයේ ඉබිසා දූපත සුප්‍රසිද්ධ දිදුලන රාත්‍රි ජීවිතයක් සහිත ස්ථාන ලෙස ගත හැකියි.

පැරීසියේ සතුව තිබෙන්නේ කලාත්මක ආත්මයක්. එහි රාත්‍රි ජීවිතය සංස්කෘතිකමය වශයෙන් ගත්තත් ඉතා උණුසුම්, දිදුලන තත්ත්වයකින් පවතිනවා. පහළ මට්ටමේ තැබෑරුමක සිට La queen වැනි රාජකීය සිතුවිලි පහළ කෙරෙන නර්තන සමාජයන්, සුඛෝපභෝගී සමාජ ශාලා පැරීසිය සතුව තිබෙනවා.

ලංකාවද ඔප් නැංවිය හැක්කේ අන් රටවලින් වෙනස් රාත්‍රි ජීවිතයක් ගොඩනැංවීමෙන්ය.  සමාජ ශාලා පමණක් නොව අපටම ආවේණික සංගීතය, නර්තනය මුසු විවිධ අංගවලින් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකියි. අපි අපට අනන්‍ය සන්නාමයක් ගොඩනඟා ගත යුතුයි.

සේන් නදියේ වම් ඉවුරේ සහ දකුණු ඉවුරේ සුන්දර පුංචි කැෆේ තුළ රාත්‍රි කාලයේ ගොඩනැඟුණු දක්ෂිණාංශිකයන්ගේ සහ වාමාංශිකයන්ගේ අපි නොදන්නා කතාබහවල් පවා නයිට් ලයිෆ් හි පුංචි අස්කොන්ය.

ඉන්දියාවේ මුම්බායි හි රාත්‍රි ජීවිතය අතිශය වර්ණවත්‍. සංස්කෘතික නැටුම්, ගැයුම් සහිත රාත්‍රි සමාජ ශාලා ඉන්දියාවේ දර්ශනීයභාවය සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගන්නවා. මෙය මුළුමනින්ම නොනිදන නගරයක්.

අපට  ඉන්දියාව යන නම ඇසූ පමණින් මතක් වන්නේ එහි සංස්කෘතික උරුමයන් සහ චාරිත්‍ර වාරිත්‍රයි. නමුත් මේ වනවිට ඔවුන් වඩාත් පුළුල් ලෙස සිය සංචාරක කර්මාන්තය වැඩි දියුණු කර ගෙන තිබෙනවා. ඉන්දියාවේ රාත්‍රි ජීවිතය සමාජ ශාලා සහ සාදවලට පමණක් සීමා වන්නේ නැහැ. වෙරළේ තැබෑරුම්, වෙරළ සාද, ප්‍රසංග, රාත්‍රි සමාජ ශාලා, රාත්‍රි චාරිකා, රාත්‍රි පාපැදි චාරිකා, රාත්‍රි දර්ශන නැරඹීම, ඉටිපන්දම් එළියෙන් පවත්වන රාත්‍රි භෝජන සංග්‍රහ වැනි සිත් ඇද ගන්නා සුලු අංග ඔවුන් සතුව පවතිනවා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය ලෝකයේ උණුසුම්ම රාත්‍රි ජීවිත ඇති නගරවලින් එකක්. ඕක්ලන්ඩ් හි සෑම රාත්‍රියක්ම පාහේ නවීනතම බාර්, සමාජ ශාලා සහ සංගීත ඉසව්වලින් පරිපූර්ණ වී තිබෙනවා.

මෙක්සිකෝවේ Cabo San Lucas නගරයේ රාත්‍රි ජීවිතය සජීවී සංගීත රස විඳිය හැකි ස්ථාන, විවේකාගාර, රාත්‍රි නැටුම් සමාජවලින් යුක්ත වනවා.

කැනඩාවේ මොන්ටි්‍රයල් හි රාත්‍රි ජීවිතය රාත්‍රි නැටුම් සාද, සාරවත් සංගීතය සහ ගිම්හාන උත්සවවලින් පිරී පවතිනවා.

තායිලන්තයේ, බැංකොක් හි රාත්‍රි ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙක් අප්‍රසාදය දනවනවා. එය පාපයේ නගරය ලෙසද හ¾දුන්වන්නේ එහි උපරීම විනෝදාස්වාදය සමඟින් බද්ධ වී තිබෙන  අශෝභන, කටුක සහ අප්‍රසන්නභාවය නිසාය.

ජෝර්ජියාවේ විශාලම සමාජය වන Bassian පිහිටා තිබෙන්නේ ඔවුන්ගේ ජාතික පාපන්දු ක්‍රීඩාංගණය වන Bassiani හි පහළම මාලයේ ඇති කොන්ක්‍රීට්වලින් සාදන ලද වංකගිරියකය. එය ඉතා නිර්මාණශීලීය.

ඇම්ස්ටර්ඩෑම් හි De School හි  ප්‍රසංග රඟ දැක්විය හැකි ස්ථානයක්, අවන්හලක්, කැෆේ එකක්, ප්‍රදර්ශන පැවැත්වීමට ඉඩ පහසුකම් මෙන්ම ව්‍යායාම ශාලාවක්ද තිබෙනවා. මෙය පැය 24ම සතියේ දින හතේම විවෘතව පවතින්නක්. මිනිසුන් හත්සියයක් සිටිය හැකි තරමේ ධාරිතාවක් මෙය සතුයි.

රෝමයේ, ගෝවා යනු ඉංග්‍රීසි ස්වාමියකුගේ ඉන්දියානු මන්දිරයක් ලෙස සකස් වී ඇති රාත්‍රි  සමාජ ශාලාවක්. මෙහි ඇතුළත අවකාශය සංචාරක ආකර්ෂණය ගන්නා විශිෂ්ට ස්වරූපයෙන් යුක්තයි. එහි ඇතුළත හ¾දුන්කූරු සහ ඉටිපන්දම්,  ඔප දැමූ ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩවලින් පරිපූර්ණයි.

රාත්‍රිය යනු කවියන්ට, නිර්මාපකයන්ට, ආදරවන්තයන්ට විටමින්මය බලපෑමක් ලබා දෙන කාල පරාසයක්. රාත්‍රියක් යනු මෙවැනි විචිත්‍ර අංගවලින් සංචාරකයන් ඇද බැඳ තබා ගැනීමට අපූර්වම කාල පරිච්ඡේදයක්.

මේ දිනවල උද්ධමනයෙන් බැට කන අපේ රට අනිවාර්යයෙන්ම සංචාරකයන් ආකර්ෂණය කර ගත යුතුයි. සංචාරකයන් පැමිණෙන්නේ ස්වභාව සෞන්දර්ය නැරඹීමට මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීමේ පරමාර්ථයද ඇතුව යන්න අප වටහා ගත යුතුයි. සංචාරකයන් වර්ග කිහිපයක් අපට හ¾දුනා ගන්න පුළුවන්. සංචාරයට ආසක්තව  පැමිණෙන්නන්, සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පැමිණෙන්නන්, පවුල් වශයෙන් පැමිණෙන්නන්, මිතුරු මිතුරියන් සමඟ විනෝදාස්වාදය පතාම පැමිණෙන්නන්, අධ්‍යාපනික අරමුණු සඳහා පැමිණෙන්නන් ඒ අතරට ගන්න පුළුවන්.

මේ සියලුම කොට්ඨාසයන් කුමන අරමුණු තකා පැමිණියද ඔවුන් සැමගේ අවසාන අභිමතාර්ථය තෘප්තිමත් සංචාරයක යෙදීමයි. ප්‍රීතිමත් සංචාරයකින් සිය ගමනාන්තය සනිටුහන් කිරීමයි.

රාත්‍රි පාපැදි සවාරි, දර්ශනීය ලෙස අලංකාර කරන ලද මුහුදු වෙරළක සිට කන්කළු සංගීතයක් සජීවීව විඳ ගැනීම, රාත්‍රි නාට්‍ය දර්ශන, රාත්‍රියේ පැවැත්වෙන අපටම ආවේණික රසැති මුහුදු ආහාර ප්‍රදර්ශන, සිත් ඇදගන්නාසුලු ජල ක්‍රීඩාවලට අකැමැති වන සංචාරකයන් කවුද?

රාත්‍රි ජීවිතය ගොඩ නැංවීමේදී මතු වන ගැටලු වන මත්ද්‍රව්‍ය, ඒ මතින් ගොඩනැඟෙන අපරාධ  වැනි අයුතු සිදුවීම් වැළැක්වීමට ඒ වෙනුවෙන්ම රෙගුලාසි සකස් කිරීමද, එය නියාමනය සහ අධීක්ෂණයට නිලධාරීන්ද පත් කිරීම සිදු කළ යුතුයි.

ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ සිය පාරිභෝගිකයා උපරීම ලෙස තෘප්තිමත් කිරීමෙනි. එමෙන්ම සංචාරක ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අප සංචාරකයා උපරිම ලෙස තෘප්තිමත් කළ යුතුය.

තාරිකා ද සිල්වා