ත්‍රි’මල දිස්ත්‍රික් සා.පෙ. ප්‍රායෝගික පරීක්‍ෂණ 20 දා

0
18

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගට පෙනී සිටි අපේක්‍ෂකයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 20 වැනි අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව ඇතත් මේ දක්වා එම සිසුන්ට විභාග ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් සිසුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

නාට්‍ය හා රංගකලාව, සංගීතය, නර්තනය යන විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 20 වැනි අඟහරුවාදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප පහක පැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති අතර මෙතෙක් විභාග ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් සිසුහු කලබලයට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරු පවසන්නේ ඊයේ (19) වැනි ස¾දුදා දිනයද ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කිරීම නිසා විභාග ප්‍රවේශපත්‍ර නොලැබෙන බවයි. ප්‍රවේශපත්‍ර නොමැතිව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විදුහල්පතිවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්. ඊ. එම්. ඩබ්. ජී. දිසානායක මහතා පැවැසුවේ විභාග ප්‍රවේශපත්‍ර නොලැබීම සම්බන්ධයෙන් තමන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවය. විභාග ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් “බාගත” (Download) කර ගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුව තමන් කළ විමසීමේදී කියා සිටි බව ඔහු පවසයි. මෙය කල්වේලා ඇතිව දැනුම් දුන්නේ නම් ඒ සඳහා පූර්ව සූදානමකින් සිසුන්ට දැනුම්දීමට ඉඩකඩ තිබූ බවත් අන්තර් ජාල පහසුකම් නොමැති සිසුන් මින් දැඩි අපහසුතාවකට පත්වන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවැසීය.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ