ත්‍රිත්ව අවසන් තරගයට

0
8

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

මග්ගොන සරේ ක්‍රිකට් පිටියේ පැවැති අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. කාසියේ වාසිය හිමිකරගත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පළමුව

පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 211ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම දියත්කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පන්දුවාර 49.4කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කළේය. මහනුවර ත්‍රිත්ව පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 89කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 63ක් රැස් කළේ තරගයේ වැඩිම ලකුණුලාභී පිතිකරු වෙමිනි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලබන 24 දින මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමඟින් තරග වදිනු ඇත.

ශාන්ත තෝමස්: 211/9 (අරිත් අධිකාරම් 46, දිනෙත් ගුණවර්ධන 45, අවිනේෂ් ප්‍රනාන්දු 33, මලිත් රත්නායක  20/2, වතිල උදාර 26/2, ලක්වින් අබේසිංහ 37/2), මහනුවර ත්‍රිත්ව: 213/6 (දිමන්ත මහවිතාන 63, ලක්වින් අබේසිංහ 44) 

ඉෂාන් රශ්මිත