ටොම් මූඩි ශ්‍රී ලංකාව හැර යයි!

0
41

ශ්‍රී  ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ටොම් මූඩි මහතාගේ සේවය තවදුරටත් ලබා නොගැනීමට මේ වන විට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් ටොම් මූඩි මහතා සහ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අතර අවස්ථා කිහිපයකදී පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව දෙපාර්ශවයේම එකඟත්වය මත මෙම තීරණයට එළැඹ ඇති බවද ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

2021 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී  ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ටොම් මූඩි මහතා පත් කළ අතර, එම නව භූමිකාව යටතේ ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර වැඩසටහන් සහ දේශීය ක්‍රිකට් තරගාවලිය අධීක්ෂණය ඔහුට පැවරී තිබූ බවද දැනගන්නට ඇත. එවකට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුකර ඇත.

එම පත්කිරීම යටතේ ටොම් මූඩි මහතා අවම වශයෙන් දින 300ක කාලයක් ශ්‍රී  ලංකාවේ රැඳෙමින් ඉදිරි කාලය වෙනුවෙන් ඉදිරි තරගාවලිය සැලසුම් සමාලෝචනය, දේශීය තරග ආකෘතිය ගැන අවධානය යොමු කිරීම, ක්‍රීඩකයින්ගේ සුබසාදනය, අධ්‍යාපන සහ දක්ෂතා වර්ධනය කිරීම, පුහුණුකරුවන් සහ සහාය පුහුණු කාර්යමණ්ඩල, උසස් කාර්යසාධනය සහ දත්ත විශ්ලේෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මතුව තිබූ කතාබහක ප්‍රතිඵලයක් ලෙස ටොම් මූඩි මහතාගේ සේවය තවදුරටත් ලබා නොගැනීමට ක්‍රිකට් බලධාරීන් තීරණයකට එළැඹ ඇති බවද පැවැසේ.