ජීවිතාරක්ෂක ඔෟෂධ ඇතුළු ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්

0
10

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක  අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඔෟෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැව් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය‍ නිශාන්ත සමරවීර පවසයි. ගාල්ලේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවකදී  හෙතෙම මේ බව සඳහන් කළේය. වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඔෟෂධ හිඟය පිළිබඳ  මෙසේද කීවේය.

“කරාපිටිය රෝහලේ මෙන්ම අනෙකුත් රෝහල්වල ජිවිතාරක්ෂක ඔෟෂධ මෙන්ම එදිනෙදා සාමාන්‍ය රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔෟෂධවල හිඟයක් තියෙනවා. ඔෟෂධ උපකරණවලත් හිඟයක් තියෙනවා. ඔෟෂධ  අඛණ්ඩව රෝහලේ වාට්ටුවලට ලැබෙන්නේ නැහැ. ඔෟෂධ නොලැබීමේ  තත්ත්වයක් තියෙනවා. සිහි නැති කිරීම සඳහා භාවිත කරන ඔෟෂධ, හිසට සිදුවන හානියකදී භාවිත කිරීමට ගන්නා ඔෟෂධ වර්ගවල මෙන්ම   රුධිර කාන්දුපෙරණයේදී භාවිත කරන ඔෟෂධවල හිඟයක් කරාපිටිය රෝහලේ තියෙනවා. එමෙන්ම පිළිකා රෝගීන්ට ලබාදෙන ඔෟෂධ, ලේ වර්ධනය කිරීමට ලබදෙන ඔෟෂධත් හිඟයි.”

පැරසිටමෝල් පෙත්තේ සිට වමනය සඳහා ලබාදෙන ඔෟෂධ මෙන්ම උදරයේ දැවිල්ලට ලබාදෙන ඔෟෂධවල පවා උග්‍ර හිඟයක් තියෙනවා. මුත්‍රා බට, රෝගීන්ට ආහාර ලබාදීම සඳහා නාසයෙන් ඇතුළු කරන බට, ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කරගැනීම සඳහා ශල්‍යාගාරවල හා දැඩිසත්කාර ඒකකවල  භාවිත කරන උපකරණ  සොයා ගත නොහැකි තත්ත්වයට පත්වෙලා.

රෝහල තුළ ඔෟෂධ නැතිවූ විට බාහිර ඔසුහල්වලින්  එම ඔෟෂධ ලබාගත්තා. නමුත් මේ වනවිට ඔසුහල්වල පවා එම ඔෟෂධ හිඟවෙමින් තියෙනවා. සර්ජිකල් වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය තමන්ගේ ආරක්ෂාව සඳහා  භාවිත කරන උපකරණවලද උග්‍ර‍ හිඟයක් තියෙනවා. ඔෟෂධවල අධික මිල රෝගීන්ට දරාගැනීමට නොහැකියි. මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වෙලා තියෙනවා. මේ සඳහා රජය වහා මැදිහත් විය යුතුව ඇතයි නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල – කමල් විජේහේවා