ජාතික ආධුනිකත්ව මණ්ඩල හා වෘත්තීය පුහුණු ආයතන සිසුන්ගෙන් මුදල් අය කරන්න හදනවා

0
45

ජාතික ආධුනිකත්ව මණ්ඩලය ඇතුළු අනෙකුත් වෘත්තීය පුහුණු ආයතනවල මෙතෙක් කලක් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට සිසුන්ගෙන් මුදල් අයකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.

මේ දිනවල වෘත්තීය පුහුණු ආයතනවලට සිසුන් බඳවා ගැනීමට අදාළව අයැදුම්පත් කැඳවා ඇති බවත් එහි සිසුන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් යම් මුදලක් රජයට ගෙවිය යුතු බවට සඳහන් කර ඇති බවත් හෙතෙම ‘මව්බිම’ට කීය.

මෙතෙක් කලක් නොමිලේ ලබාදුන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය අයැදුම්කරුවන්ට දැනුම් දී ඇතැයි ලංකා ජෝසප් ස්ටාලින් පැවැසීය.

මෙතෙක් කලක් සිදු වූයේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය ඇතුළු ආයතනවල වෘත්තීය අධ්‍යාපනයේ නිරත වන සිසුන්ට රජය මඟින් යම්කිසි දීමනාවක් ගෙවීම වුවත් මේ වසරේදී රජයට යම් මුදලක් ගෙවා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට සිසුන්ට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

පාසල් හැර ගිය, විභාග සමත් වුවත් විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි නොවූ සිසුන් බහුතරයක් සිය කුසලතා අනුව වෘත්තීය අධ්‍යාපනයට බොහෝ සෙයින් යොමු වන බව හෙතෙම කීය.

බොහෝ විට දරිද්‍රතාවයෙන් පෙළෙන සහ අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් වෘත්තීය පුහුණුව ලබාගැනීමට යොමුවන නිසා මේ අයුරින් මුදල් අය කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම සිසුන්ද එවන් ආයතන වෙත යොමු වීමෙන් වළකින තත්ත්වයක් උද්ගත වන්නේ යැයිද ජෝසප් ස්ටාලින් අවධාරණය කළේය. මුල් කාලයේදී තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනම කැබිනට් අමාත්‍යංශයක් පැවැතුණු නමුත් පසුගිය ආණ්ඩු සමයේ එය රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස නම් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. එහෙත් අද වන විට තෘතීය පුහුණුව අධ්‍යාපන අමාත්‍යාංශයේම තවත් එක් විෂය පථයක් බවට පමණක් පත් කොට ඇතැයිද හෙතෙම චෝදනා කළේය.

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමක් සිදුවන බවද ඔහු කීය.

තෘතීය අධ්‍යාපනයේ කොටස් ලෙස සැලකෙන වෘත්තීය පුහුණුව මේ අයුරින් වළපල්ලට යැවීමෙන් වගකිව යුතු පාර්ශ්ව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කළේය.

සවනි ශේශාධි