ගෙවුණු මාස 8ට වල් අලි ප්‍රහාරවලින් අනුරපුරේ 23ක් මිය ගිහින්

0
4

මෙම වසරේ ගතවූ මාස අටක කාලය තුළ වන අලි පහරදීමෙන්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් විසිතුන් දෙනකු (23) මියගොස් තවත් පුද්ගලයන් විසි එක් දෙනකු  (21) ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවත් දේපළ හානි  හාරසිය හැත්තෑ දෙකක් (472) වාර්තා වී ඇති බවත් වන අලි පහරදීම්වලින් අගතියට පත් ජනතාවට වන්දි දීමේ කමිටුව තොරතුරු අනාවරණය කරයි. පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කමිටුව රැස්විය.

ඒ අනුව  වන අලි ප්‍රහාරවලින් මරණයට පත්වූවකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක (10) වන්දියක් ද, පූර්ණ දුබලතාවකට ලක් වුවහොත් රුපියල් ලක්ෂ දහයක (10)  වන්දියක් ද හිමි වේ. අර්ධ දුබලතාවකට ලක් වන අයකුට   රුපියල් එක් ලක්ෂ පනස් දාහක උපරිමයකට යටත්ව වන්දි හිමි වේ. වන අලි ප්‍රහාර වැළැක්වීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග මේ වනවිටත් අනුගමනය කරමින් සිටින බවද මෙහිදී සඳහන් විය.

එහි දී සාකච්ඡා වූ කරුණු අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සැලකිය යුතු ප්‍රමාණයක මෙම ගැටලුව පවතී. කැබිතිගොල්ලෑව, මැදවච්චිය, රඹෑව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, තිරප්පනේ, මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේ අතරින් ප්‍රධාන වේ. 

වන අලි ප්‍රහාරවලින් අගතියට පත් වූවන්ට වන්දි ලබා දීමේ කමිටුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති  කමිටුව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යක්‍ෂ ඩබ්.එම්.කේ.එස් චන්ද්‍රරත්න, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ අයි.ඒ.කේ රණවීර යන නිලධාරී මහත්ම මහත්මීහු  සහභාගි වූහ.

මැදවච්චිය – සරත්චන්ද්‍ර වික්‍රමසිංහ