ගැටඹේ පන්සල ගිලා බැසීමේ අවදානමක

0
25

ගැටඹේ ඓතිහාසික බෝධීන් වහන්සේ හා අසල ගොඩනැඟිල්ලක් මහවැලි ගඟ දෙසට ගිලා බසිමින් පවතින්නේ යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති, රාමඤ්ඤ නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවැසූහ.

සිරිවිමල නාහිමියෝ මේ බව පවසා සිටියේ ක්‍රීඩා තරුණ කටයුතු හා මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ ඉකුත් 17දා ගැටඹේ පුදබිම වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

ගැටඹේ පුදබිම අසලින් මහවැලි ගංගාව ගලා බසින අතර වර්ෂාව හේතුවෙන් නිතරම ගංගාව පිටාර ගලමින් පුදබිම ආශ්‍රිත ඉවුර ඛාදනය වීමේ අවදානම පැවැති රජයට පෙන්වා දීමෙන් අනතුරුව 2021 වසරේ මහවැලි ගං ඉවුරේ අනාරක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂක බැම්මක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ සඳහා රුපියල් මිලියන 210ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කළා. එම බැම්මේ ඉදිකිරීම් කටයුතු තරමක් දුරට සිදු කෙරුණත් මේ වන විට මාස කිහිපයක සිට වැඩ නතර වී තිබෙනවා.

මුදල් නොමැතිකමින් මෙම වැඩ නතර වූ බව තමයි බැම්ම ඉදිකරන සමාගම අපට සඳහන් කළේ. මෙම බැම්ම ඉදිකිරීම සඳහා ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි පරිශ්‍රය දක්වාම පස් කපා ඉවත් කොට තිබෙනවා. පසුගිය සමයේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ බෝධීන් වහන්සේ හා චෛත්‍යය වහන්සේ පිහිටි පරිශ්‍රයේ බොහෝ ස්ථාන ඉරිතළා පුපුරා ගිහින්.

නාහිමියෝ මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව ක්‍රීඩා තරුණ කටයුතු හා මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ අදාළ නිලධාරීන් සමඟ ගැටඹේ පුදබිම වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂා කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා මෙසේ පැවැසීය.

පවතින මුදල් අර්බුදය හමුවේ ආරක්ෂක බැම්ම ඉදිකිරීමේ කටයුතු නතර වී තිබුණත් පුදබිම පවතින යම් අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙම ආරක්ෂිත බැම්මේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට පියවර ගන්නවා.  

මහනුවර – කේ. එල්. සුරවීර