කොච්චර Busy වුණත් කෙල්ලගෙ Call එක Answer කරන්න

0
39

අතිශය කාර්යබහුල හවසකට පස්සේ මම මගේ මිතුරියව බත්තරමුල්ල දියත උයනේදී හමුවුණා. කාලෙකට පසුව හමුවීමේ ප්‍රීතිය බෙදා හදා ගන්නට අපි එකිනෙකා හා තදින් වැලඳගත්තා. ඇය ප්‍රෙන්ච් ෆ්‍රයිස් ඕඩර් කළා. මම හොට් ඩෝග් එක්ක නෙස් කැෆේ මිලදී ගත්තා. සංවාදය රසවත් වුණා.

ආගිය තොරතුරු විමසමින් අපි ගොඩක් වෙලා කතා කළා. වෙහෙසට පත් වුණ තැන්වලදී ඇය බොළඳ විහිළුවක් කළා. උමතුවෙන් වගේ සිනාසුණා. මට කොතරම් වෙහෙසකාරී දවසක් වුණත් ඇයගේ අවිවේකී දින සටහන තුළ ඇය මොහොතකට හෝ නිවෙන්නේ මෙහෙම සංවාදයක් අතරතුර බව දන්නා නිසා මම ඇය වෙනුවෙන් කාලය දුන්නා.

“උඹ ගෙදර යන්නේ කවදද?” කොළඹ ආවට පස්සේ ගෙදර ගැන වගේ වගක් නැතුව රාජකාරිවලම හිරවුණ මගේ අකීකරු මිතුරියට මම තීරණාත්මක ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

“ලබන සතියේ යනවා බන්” තාත්තා හැමදාම එන්න කියනවා. ඒත් මට වැඩත් එක්ක මාස ගාණකින් යන්න බැරි වුණා. අලුතෙන් පටන්ගත්ත බිස්නස් එකේ වැඩත් තියෙන නිසා ෆෝන් එකට ආන්ස්වර් කරගන්නවත් වෙලාවක් නැහැ” ඇය සුපුරුදු රිද්මයෙන් ඇයව සාධාරණීකරණය කළා. නිදහසට කරුණු ඉදිරිපත් කළා.

එදා හමුවීමෙන් පස්සේ දින කිහිපයක් යනකන් මට ඇයගෙන් ඇමතුමක් ලැබුණේ නැහැ. නමුත් පහුගිය බදාදා රාත්‍රියේ හදිසියේම මගේ දුරකථනය නාද වුණා. ඇමතුම ලැබුණ වෙලාව ප්‍රතිචාර දක්වන්නටත් සුදුසු වෙලාවක් නොවුණු නිසා මම දෙපාරක් හිතලම දුරකථනයට ප්‍රතිචාර දැක්වුවා. ඇමතුමේ එහා කෙළවර ඉඳලා මගේ මිතුරිය බි¾දුණු ස්වරයෙන් හඬමින් කතා කළා.

“මචං අපේ තාත්තා නැති වෙලා”

මම මොහොතකට නිසොල්මන් වුණා. කුමක් කියන්නද කියලා හිතාගන්නට බැරුව නිහඬ වුණා. උපදෙස් හා අවවාද වෙනුවට ඇය ළඟ මේ මොහොතේ රැඳී සිටීම වැදගත් වූ නිසා මම ඇය සමඟින් තාත්තාගේ අවසන් කටයුතුවලට කොළඹින් පිටත් වුණා.

මම හිතන්නේ ඇය අසීමිතව හැඬුවා. සමහර තැන්වල ඉකි ගැහුවා. වේදනාව දරාගන්නට අසාර්ථක උත්සාහයක යෙදුණා.  “මචං මට දුක එයා නැති වෙන්න කලින් මූණ බලාගන්න බැරි වුණ එක ගැන,” තාත්තාගේ සමුගැනීමටත් වඩා ඔහුව අවසාන වතාවට හෝ දකින්නට, වැලඳගන්නට නොහැකිවීම ගැන ඇය දුක් වුණා. ඒ ගැන අසීමිත ලෙස පශ්චාත්තාප වුණා.

සීමා සහිත ජීවිතයක් ඇතුළේ මිනිස්සු අසීමිත ලෙස අවසානයේදී පශ්චාත්තාප වෙන්නේ, කනගාටු වෙන්නේ තමන්ට කරන්නට බැරි වූ වැඩ ගැන කියලා මම විශ්වාස කරනවා. තමන්ට කියන්නට බැරිවූ වචන ගැන, විඳින්නට බැරිවූ හැඟීම් ගැන, කරන්නට බැරිවූ යුතුකම් ගැන කියලා මම අත්දැකලා තියෙනවා.

සමහර වෙලාවට ළඟම මිනිස්සුන්ට ආදරය පෙන්වන්න සිය රාජකාරීන් අවසන් වෙනකන් බලන් ඉන්න මිනිස්සු රාජකාරි අවසන් වෙන්න කලින් ඒ මිනිස්සු අහිමි කරගෙන. ජීවිත කාලයටම කලකිරීමක් ඉතිරි කර ගන්නවා. සමහර වෙලාවට තමන් ආස දේවල් කරන්න සියලු දේවල් පරිපූර්ණ වෙනකන් බලන් ඉන්න මිනිස්සු කිසිවක් කරගන්න බැරුව හිස් ජීවිත ගත කරලා මියයනවා.

තමන් මේ ලෝකේ කැමැතිම කෙනාට ආදරෙයි කියන්න ප්‍රමාද වෙලා, පස්සේ ඒ කෙනා වෙන කෙනෙක් සමඟ බැ¾දුණට පස්සේ හදවතින්ම හඬා වැලපුණු, බිදිච්ච හිත් ඇති ප්‍රේමවන්තයෝ මට හමුවෙලා තියෙනවා.

තමන්ගේ අම්මට යුතුකම් ඉටුකරන්න, රස්සාව ස්ථිර වෙනකන් බලන් ඉඳලා, ඒ අතර කාලයේදී අම්මා මියගියාම අයියෝ අපරාදේ කියලා කියපු සමහර පරාජිත දරුවන් මට මුණ ගැහිලා තියෙනවා.

විශ්‍රාම ගියාට පස්සේ බිරිය එක්ක රට වටේ ඇවිදින්න හිතාගෙන ඉඳලා, ඒ අතරතුර කාලයේදී බිරිය මියගියාම විෂාදය හදාගත්තු, ජීවිතය විනාශ කරගත්තු ස්වාමි පුරුෂයන් මට සම්මුඛ වෙලා තියෙනවා.

ලෝකයේ සෑම තැනකම ඉන්න බහුතරයක් මිනිස්සු තමන් ආදරය කරන, තමන්ට ආදරය කරන අය වෙනුවෙන් කාලය ලබා දෙන්නට බැරි වීම ගැන අවසානයේදී පසුතැවිලා තියෙනවා. අඬලා තියෙනවා. දුක් වෙලා තියෙනවා. සීමා විරහිතව පසුතැවීම් ඉතිරි කරගෙන තියෙනවා.

ළඟම අයව වැලඳගන්න, කැමැතිම අයට ආදරෙයි කියන්න, හොඳම අයට යුතුකම් ඉෂ්ට කරන්න අපිට හරියටම තව කොච්චර කාලයක් ඉතුරුද කියලා හරියටම කියන්න බැහැ. ඊළඟ තත්පරයේ ඔයා ළඟම මිනිස්සු ඔයාට අහිමිවෙන එකක් නැහැ කියලා කාටවත් නිශ්චිතවම කියන්න බැහැ. හුස්ම ස්ථිර නැහැ. ප්‍රමාද නොවී ආදරෙයි නොකියා, පරක්කු නොවී යුතුකම් ඉටු නොකර ළඟම මිනිස්සු දාලා ගියාට පස්සේ අයියෝ අපරාදේ කියලා කිව්වට වැඩක් නැහැ.

මගේ මිතුරියට විතරක් නෙමෙයි, අපි හැමෝටමත් තාත්තාව මැරෙන්න කලින්  වැලඳ ගන්න අවස්ථාවක් එනවා. මැරෙන්න කලින් අම්මාට යුතුකම් ඉෂ්ට කරන්න මොහොතක් උදාවෙනවා. සිපගත යුතු අයව සිපගන්න, වැලඳ ගත යුතු අයව වැලඳගන්න මේ මොහොත ඉතිරිවෙලා තියෙනවා. ඒක නැති කරගන්න එපා. ඔයා කොච්චර කාර්යබහුල වුණත් ලැබිලා තියෙන අවස්ථාව මඟහැර ගන්න එපා. මඟහැර ගෙන පශ්චාත්තාප වෙන්නත් එපා.

ඔයා කොච්චර කාර්යබහුලව වැඩ කරන කෙනෙක් වුණත් බිරියගෙන් ඊළඟට එන දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන්න. ඔයා කොයිතරම් වැඩකටයුතු අධික කෙනෙක් වුණත් ඔයාගේ මවුපියන්ට දවසේ පොඩි කාලයක් හරි කතා කරන්න වෙලාවක් හදාගන්න. මම ආයෙත් කියන්නේ අපි ආදරය කරන අය අපි ළඟ රැඳෙන කාලය සීමිතයි. ඔයා කැමැති අයට තවත් කල් යවන්නේ නැතුව ආදරෙයි කියන්න.

ඔයාට රැකියාව නැති වුණොත් වෙන රස්සාවක් හොයා ගන්න පුළුවන්. නමුත් ඔයාට ඔයා ආදරය කරන කෙනෙක්ට හදිසියේම සමුගන්නට සිද්ධ වුණොත්, තවත් විකල්ප නැහැ කියලා මතකයේ තියාගන්න. පසුතැවීම් ඉතිරි කරගන්නේ නැතුව ඔයාගෙ සහකරුවාව දැන්මම වැලඳගන්න. ඊළඟට එන කෝල් එක answer කරන්න.