කඩා වැටුණු රට ඔසවා තැබිය හැක්කේ ජනාධිපති රනිල්ට පමණයි

0
38

කඩා වැටුණු ශ්‍රී  ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තැබිය හැකි දර්ශනයක්, වැඩපිළිවෙළක් තිබෙන එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහුගේ ඒ ගමන්මඟ සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සඳහන් කරයි.

ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා (14දා) මෙසේ පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.

ශ්‍රී  ලාංකික ජනතාව අපේ රට පිළිබඳව ඉතාමත් අවබෝධයෙන් සිටිය යුතුව තිබෙනවා. ලබන වසරට නිදහස ලබලා වසර 75යි. අපි නියෝජනය කරන දේශපාලන පක්ෂයට අවුරුදු 76ක් සම්පූර්ණ කළාට පසුගිය වසර 74ක ඉතිහාසය දෙස බැලූ විට එකිනෙකාට චෝදනා කිරීමෙන් ශ්‍රී  ලංකාව ගොඩගන්න බැරි බව සියලු දෙනා මතක තබා ගත යුතුයි.

අප සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තමයි ශ්‍රී  ලංකාව ලෝකයේ ආර්ථිකය ජය ගැනීම සඳහා ක්‍රියා කරන්නෙ කෙසේද කියලා. එතැනදී අනිත් රටවල් අපිව අභිභවා යන්න ක්‍රියාකිරීම වරදක් නොවේ. ශ්‍රී  ලාංකිකයන් හැටියට අපි කොතැනද සිටිය යුත්තේ කියලා. දැන ගත යුතුයි. දේශපාලන පක්ෂවල කුළල් කා ගැනීමත් සමඟ අද වනවිට ශ්‍රී  ලංකාව පහතට ඇද වැටී තිබෙනවා.

ශ්‍රී  ලංකාව නිදහස ලබා ගන්නවා 1946 සැප්තැම්බර් 06 වැනිදා. සියලුදෙනා එකඟ වෙලා එකඟතාවකට ආපු නිසා අප නිදහස ලබා ගත්තා. නමුත් 1952න් පසුව එම සමඟිය නැති වූ  නිසා අද වනවිට වෙනත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළත් වෙලා තිබෙනවා. ඒ සංවිධානවල අවශ්‍යතාව පරාජය කරන්න නම් අපි එකට සිට ගත යුතුයි. ඉන්දියාවේ අය ඉන්දියානුවන් හැටියටත් ඇමරිකාවේ අය ඇමරිකානුවන් හැටියටත් චීනයේ අය චීන ජාතිකයන් හැටියටත් සෝවියට් දේශයේ අය සෝවියට් වැසියන් හැටියටත් සිට ගන්නවා.

ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයන්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා.

ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී  ලංකාව තුළ තිබෙනවා. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එසේම එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත් බය හිතෙන්නෙත් හේතුව එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා දන්න නිසා.

ජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්න. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් පරිස්සම් විය යුතුයි.

එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී   ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන් වේවි. එහි ප්‍රතිඵල ලබන්න අපි, එතුමලා නැතිව ඇති. හැබැයි මේ රටේ ඉන්න පරම්පරාව ඒ ප්‍රතිඵල භුක්ති විඳීවි.

ලෝකයත් එක්ක සටන් කළ හැකි නායකයෙක් ජනාධිපති ධුරයට පත්වෙලා තිබෙනවා. අප එයින් ප්‍රයෝජන ගත යුතුයි. පටු ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මිනිස් සමාජයේ ඉන්න කොටස්ම තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙත්. ඒනිසා අඩුපාඩුකම්, නොගැළපීම් තියෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඒ අයව පත් කරලා තිබෙන්නෙත් මහජනයාමයි, ඒ පිළිබිඹුවම තමයි පාර්ලිමේන්තුව තුළ තිබෙන්නෙත්.

පාර්ලිමේන්තුව තුළ සිටින ඇතැම් මහජන නියෝජිතයන්ට විවිධ කතා කියන්න පුළුවන්. ඒ කතා කියන සියලුදෙනාවම මහජනයා විසින්මයි තෝරා පත් කර තිබෙන්නේ. මහජනයාට බලය තිබෙනවා ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට ආවම ඔවුන්ව නිවැරදි මාවතට අරගෙන සමාජයේ කොටස් හැටියට භාවිත කළ යුතුව තිබෙනවා.

හරි නම් උපරිම 225ම මේකට හවුල් කරගත යුතුව තිබෙනවා. ඇතැම් අයට ඇමැතිකම් නැතත් වෙනත් කමිටුවල කාර්යභාරයන් ක්‍රියාවට නංවා රට හසුරුවන්න තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය ආරක්ෂා කිරීමක්. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම ක්‍රියාත්මක කිරීම පක්ෂ වුණත් විපක්ෂ වුණත් වගකීමක්. එහෙනම් රාජ්‍ය‍ ප්‍රතිපත්ති සහ මූලධර්ම නිසියාකාරව ක්‍රියාත්මක කරගන්න අපොහොසත් වුණොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන තර්ජනයක්.

උදාහරණයක් හැටියට පසුගිය කාලයේ සිදුවුණේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. ඒවා පාලනය කිරීම වැදගත්. එසේ නැති වුණොත් නොගැළපෙන කණ්ඩායම් අතට රට පත්කිරීම තමයි ජාත්‍යන්තරයේ අවශ්‍යතාව.

ශ්‍රී  ලාංකිකයන් හැටියට අපි ලෝකය සමඟ තරග කළ යුතුයි. ඒ සඳහා පත්වන මහජන නියෝජිතයනුත් තනතුරු දරන පුද්ගලයනුත් ඇමැතිවරුත් රට ගැන හිතලා ස්වයං පාලනයක් ඇති කර ගත යුතුයි.

මං හිතන්නේ එතැනට අප ගමන් කළ යුතුව තිබෙනවා. අනෙක් කාරණය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ ප්‍රධාන වගකීම රාජ්‍ය  මූල්‍ය ප්‍රතිපත්තිවල වගකීමයි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය, 149 වැනි වගන්තිය, 150 වැනි වගන්තිය සහ 151 වැනි වගන්තිය. මේ බෙදීම් නිසා, කුළල් කා ගැනීම් නිසා සියල්ලම උල්ලංඝනය වෙලා තිබෙනවා. මං මේක පුද්ගලයන් සම්බන්ධයෙන් කියන කාරණයක් නොවේ. ක්‍රමවේදය සම්බන්ධයෙන් කියන කාරණාවක්. එක එක්කෙනා මේ තොප්පිය දා ගන්න උත්සාහ කරන්න එපා. මම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය හීන වෙලා උල්ලංඝනය වෙලා තිබෙනවා. අපි එය පිළිගත යුතුයි.

එයට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වගකිව යුතු නැහැ. එය සඳහා වගකිව යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ මෙය හසුරුවපු කණ්ඩායමයි. ඒ කණ්ඩායම් පුහුණු කරලා නැවත නිසි මාර්ගයට අරගෙන වැඩ ගත යුතුව තිබෙනවා.

මේ කාරණා කිව්වම පටු දේශපාලන පරමාර්ථ තිබෙන අය ඇතැම් අයගේ නම් ඉදිරිපත් කරමින් එකිනෙකා විවේචනය කර ගැනීමක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන කරන්න දෙයක් නැහැ. මම නීතිය අනුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සත්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා.

ශ්‍රී  ලංකාව මේ තත්ත්වයට පත්වීමට ප්‍රධානවම වගකිව යුතු ආයතන හැටියට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඒ ආයතනවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් ශ්‍රී  ලංකාව තුළ සිදුවිය යුතුව තිබෙනවා.

අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම්  අසාර්ථක රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිංස්කරණය කළ යුතුයි. වෙනස් විය යුතුයි. එය පුහුණු කළ යුතුයි. ඉදිරියට ගෙන යා යුතුයි. එතකොට ශ්‍රී  ලංකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතන විධියට ආසියාවෙත්, ලෝකයෙත් ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් එතුමාගේ දර්ශනයත් ගමන්මඟත් විනාශ කිරීමේ ප්‍රධාන ආයතන බවට මේවා පත්වෙයි.

පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැසිරිය යුතුයි. පුද්ගලයන් පිළිබඳ අපිට අදාළ නැහැ. අපේ ප්‍රධාන අරමුණ අපි වගකියන්නේ මහජනතාවට මිස පුද්ගලයන්ට නොවේ. ඒ නිසා පුද්ගලයන් කවුද කියන එක අපට අදාළ නැහැ. මේ කඩා වැටුණු රට ලෝකයේ ඉහළ තැනකට ගේන්නත් අවශ්‍ය කරන නායකත්වය ශ්‍රී  ලංකාව සතුව තිබෙනවා. එය ප්‍රයෝජනයට ගැනීම ඔබෙත් මගෙත් යුතුකමක් බව මා සිහිපත් කරනවා.

සඳුනි ගමාරච්චි