ඔෟෂධ – උපකරණ හිඟයෙන් ආයුර්වේද රෝහල් අඩපණයි

0
6

රජයේ ආයුර්වේද රෝහල්වල ඔෟෂධ, උපකරණ හා යෙදවුම් හිඟයක් පැවැතීමෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වී ඇතැයි සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් කේ.පී.ආර්.එස්. ගුණරත්න පෙන්වා දෙයි.

එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු අවම මට්ටමින් හෝ පවත්වා ගෙන යෑමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද ලේකම්වරයා පැවැසීය.

පවතින තත්ත්වය හමුවේ දෛනික ප්‍රතිකාර පමණක් සිදුකරන ලෙසත්, රෝගීන් දිනකට වඩා  රඳවා නොගන්නා ලෙසත් ආයුර්වේද කොමසාරිස්වරයා රෝහල් ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන බවද ලේකම්වරයා කීවේය.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන රෝහල්වල ඔෟෂධ හිඟය හේතුවෙන් ආයුර්වේද රෝහල්වලට රෝගීන් පැමිණීමක් සිදුවෙමින් පැවැති බව පැවැසූ හෙතෙම මේ වනවිට එම රෝගීන්ගේ ශක්‍යතාවද අඩුවෙමින් පවතින බව  සඳහන් කළේය.

ආයුර්වේද රෝහල් වෙත වියළි ඔෟෂධ පැරණි මිලට සැපයිය නොහැකි බව කියමින් සැපයුම්කරුවන් ඉවත්ව සිටින බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

අරළු, බුළු, නෙල්ලි, තිප්පිලි, කොත්තමල්ලි වැනි වියළි ඔෟෂධ යොදා සකස් කරන ඔෟෂධ නිෂ්පාදනය ඇනහිට ඇතැයි ලේකම්වරයා පැවැසීය.

මී පැණි හිඟයක් නිර්මාණය වී ඇතැයි කී හෙතෙම, මීපැණි යොදා අඹරා සකස් කරන කල්ක, ගුළි හිඟයක් පවතින බව සඳහන් කළේය.

වාත රෝග සඳහා යොදා ගන්නා තෙල්වල හිඟයක් නිර්මාණය වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මෙම තෙල් සැකසීමට යොදා ගන්නා වණ්ඩු කපුරු කිලෝවක් රුපියල් දෙදහසේ සිට මේ වනවිට රුපියල් දසදහස දක්වා වැඩිවී තිබෙන බවද ගුණරත්න මහතා පෙන්වා දෙයි.

ආයුර්වේද රෝහල්වලට ගෑස් සඳහා වෙන්කළ මුදල් අවසන්ව තිබෙන බැවින් රෝගීන්ට අවශ්‍ය තැවීම් හා වාෂ්පීකරණ ප්‍රතිකාර ඇනහිට තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ගෑස්, වණ්ඩු කපුරු, අරළු පිටතින් රැගෙන එන ලෙසට ආයුර්වේද රෝහල්වල දැන්වීම් අලවා තිබෙන බවද හෙතෙම කීවේය.

ආයුර්වේද රෝහල්වලට 2021 වසරේදී ලබාදුන් මිල ගණන් අනුව ආහාර සැපයිය නොහැකියැයි  කොන්ත්‍රාත්කරුවන් පවසන බවද ඔහු කීය.

මේ හේතුවෙන් ආයුර්වේද රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමේදී බාධා ඇතිවී තිබෙන බවද ගුණරත්න මහතා පැවැසීය.

බැන්ඩේජ් පටි, ගෝස්, ප්ලාස්ටර්, උරමාල ෆාමසිවලින් රැගෙන එන ලෙසට දැනුම් දෙන අවස්ථා බොහෝ විට තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ගෝස් වැනි ද්‍රව්‍යවල දැනට ඇති තොග තවත් මාසයකට පමණක් සෑහෙන බවද ඔහු කීවේය.

ප්ලාස්ටර් වැනි දෑ ෆාමසිවලින් රැගෙන එන ලෙසට රෝගීන්ට පවසන අවස්ථාවලදී රෝහල් කාර්ය මණ්ඩල අපහසුතාවට පත්වන බවද හෙතෙම පෙන්වා දෙයි.

බොහෝ විට ආයුර්වේද රෝහල් කරා පැමිණෙන අස්ථි බිඳීම් වැනි අනතුරුවලට ලක්වූවන් ෆාමසිවලට ගොස් මිල ගණන් ඇසීමේදී තවත් අසරණව සිටින බවද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ