එක්දරු පියාගේ මළ සිරුර පිහිනුම් තටාකයේ: කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු සැකපිට අල්ලයි

0
10

මාකඳුර, බැරගම, වඩුගෙදර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කෝටිපති කුරු¾දු ව්‍යාපාරිකයකුට අයත් නිවෙසක පිහිනුම් තටාකයේ තිබූ මළ සිරුරක් පෙරේදා (18දා) දින මාවරල පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර එය ඝාතනයක් බවට ඊයේ (19දා) දින පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාකඳුර, බැරගම නැඟෙනහිර, මහවත්ත ගෙදර පදිංචි 79 හැවිරිදි ලොකුගේ පියදාස නමැති එක්දරු පියකු බවට පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයාට අයත් ඉදිකරමින් පවතින නිවෙසේ නතරව නිවෙස බලාගෙන සේවය කරන බවත් 16 දින පදිංචි නිවෙසට ගොස් නැවැත සේවයට ගිය පසු නිවෙසට නොපැමිණි බවටත් සිය මාමණ්ඩිය අතුරුදන්ව ඇති බවටත් 119 හදිසි ඇමැතුම් අංකයට 17 දින රාත්‍රි ඔහුගේ ලේලිය විසින් දුරකථන ඇමැතුම් ලබාදී තිබිණි.

ඒ අනුව මාවරල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එදින රාත්‍රියේම අදාළ සේවකයා සේවය කරන බව පැවැසෙන නිවෙසට ගොස් අවට පරීක්ෂා කළ බලා ඇති බවත් එම අවස්ථාවේ නිවෙසේ විදුලි බුබුළුද නිවා දමා තිබීම හේතුවෙන් අවට සෝදිසි කර පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත. මේ අතර 17 දින රාත්‍රි ව්‍යාපාරිකයා එම සේවකයාගේ නිවෙසට ගොස් වත්තේ බැඳ සිටි ගවයන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවට පවසමින් සේවකයාව සොයා  කෑගසා ගිය බවට මියගිය පුද්ගලයාගේ ලේලිය විසින් මාවරල පොලිසියට පවසා තිබේ.

 මේ අතර පෙරේදා (18දා) දින උදේ අදාළ නිවෙස හිමි කෝටිපති ව්‍යාපාරිකයා මාවරල පොලිසියට පැමිණ පවසා ඇත්තේ අතුරුදන්ව ඇති සේවකයාගේ මළ සිරුර ඉදිකරමින් පවතින නිවෙසේ පිහිනුම් තටාකයේ තිබෙන බවටයි. ඒ අනුව මාවරල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත් මරණය සැකසහිත බවත් එය ඝාතනයක් විය හැකි බවට විශ්වාස කරන බවට පොලිසිය පවසයි. මාතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් (සොකෝ) එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දෙයියන්දර මහෙස්ත්‍රාත්, අතිරේක  දිසා විනිසුරු කෝසලා අනුරුද්ධිකා විදානපතිරණ මහත්මිය පැමිණ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.

ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමට මාතර මහ රෝහලට යවන ලෙසට පොලිසියට නියෝග කළ අතර ඒ අනුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19දා) දින මාතර මහ රෝහලේදී සිදු කෙරිණි. එහිදී ගෙල සිර වීමෙන් සිදු වූ මරණයක් බවට මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සුමිත් අබේපිටිය මහතා විසින් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බවට පොලිසිය පැවැසීය.

 මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බවත් මේ වනවිට නිවස හිමි කෝටිපති  කුරුඳු ව්‍යාපාරිකයා සමඟ ඔහුගේ යහළුවන් දෙදෙනකු ඇතුළු තුන්දෙනකු ඝාතනය සම්බන්ධයෙන්සැ කපිට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

උෟරුබොක්ක _ අතාවුද පතිරණ