ඉරක් ඇන්දත් මිලක් කියන Graphic නිර්මාණ කලාව

0
33

ඉදිරිපත් කරන දේට වඩා ඒක ඉදිරිපත් කරන විදිහ ආකාරය තමයි මිනිසුන් වන අපේ සිත්ගන්න පළමුම දේ වෙන්නේ. ග්‍රැෆික් ලෝකෙට එන්නෙ අන්න ඒ  විවිධාකාරය අරගෙනයි. ඒ වගේම මේ ග්‍රාපික අපේ ජීවිතවල මේ වෙනකොටත් විශාල ඉඩකඩක් හිමි කරගෙන තියෙන්නෙ අපි නොදැනුවත්වමයි. ඔබ මේ මොහොතේ බලන පත්තරේ අකුරු සැකැස්මෙ ඉඳන් දත් නොදත් බොහෝ පරිසරවල ග්‍රාපිකවල බහු ස්වරූප තියෙනවා. ඉතින් නොමැති තැනක් නැති තරම් බහුල වීම ඇතුළේ මීට – නැත්නම් මේ ග්‍රැෆික් සඳහා ලැබුණ සුවිශේෂතාව මොනවද  ඉන් අපිට ලබා ගන්න පුළුවන් සුවිශේෂතා මොනවද කියලා අපි හොයායමු. 

ග්‍රැෆික් යනු 

කිසියම් ඉලක්කගත හෝ එසේ නොවන ග්‍රාහක පිරිසක් සමඟ දෘශ්‍ය සන්නිවේදනය හරහා සේවාලාභියා වෙත අදහස් හා පණිවුඩ ප්‍රතිනිර්මාණය කියල කියන්න පුළුවන්. ඒ වගේම සරලවම එය යම් ආකාරයකට දෘශ්‍ය සන්නිවේදන භාෂාවක් කියලා කිව්වත් වැරදි නෑ. මේකෙ ප්‍රති  නිර්මාණය  කියන කොටස විශේෂ වන නිසාම ග්‍රැෆික් යන්න කොටස් දෙකක් යටතේ අපිට වෙන් කර ගන්න වෙනවා.

1. මනෝවිද්‍යාත්මක කොටස

2. ග්‍රැෆික් කොටස

සැමවිටම ග්‍රැෆික් හි මනෝවිද්‍යාත්මක කොටස විස්තර කර හුවා දක්වන්න අපහසුයි වගේම තරමක් ගුප්තයි. ග්‍රැෆික් නිර්මාණ ඇතුළේ වර්ණ  හැඩතල වෙනත් සාධන භාවිතයේ ප්‍රතික්‍රියා ඇසුරෙන් පිටත සිට බලන්නාගේ ක්‍ෂණික යොමුව නැවත කැඳවන ආකාරයේ විශේෂත්වයක් තමයි අපේක්ෂා කරන්නෙ. එහි වෙනස් බවක් ඉලක්ක ගත ප්‍රේක්ෂකයාගෙ ආශාව හෝ වුවමනාව මත වගේම සේවාදායකයාගේ නිර්මාණය මතත් පදනම් වෙනවා.

මෙහි ග්‍රැෆික් කොටස එක් ග්‍රැෆික් නිමවුමක්  කිරීම සඳහා සියලු පර්යේෂණ එකට සම්පාදනය කිරීමට ඇතුළත් මෙය නිර්මාණාත්මක ක්‍රියාවලියක්. දවසින් දවස අලුත් වන තාක්ෂණය එක්ක එහි විවිධ අංග එකතුවීම වගේම ක්ෂය වීමද වෙනවා. මේ වෙනකොට මේ සඳහා වඩාත් ජනප්‍රියම නිර්මාණ මෙවලම් ලෙස Adobe inDesign Adobe illustrator Corel DRAW Adobe photoshop වගේ මෘදුකාංග හඳුන්වා දෙන්න පුළුවන්. එසේ ග්‍රැෆික් යටතට ගැනිය හැකි නිර්මාණ කාර්යය කිහිපයක් තමයි මේ.

• Web Design
• UI and Interactive Design
• Advertising and Marketing Design
• Motion Graphics and Animation
• Packaging Design
• Game Design
• Illustration
• Publication and Typographic Design

මේ වෙනකොට තාක්ෂණික ලෝකෙ ඉහළින්ම වගේම අතිශය පුළුල් වූ ඩිජිටල්කරණයත් සමඟ ග්‍රැෆික් නිර්මාණ වගේම එමඟින් ග්‍රැෆික් නිර්මාණකරුවන්ට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිව තිබීමත් දැකිය හැකියි. ඒවගේම එම අවස්ථා ලබා ගැනීමට තරුණ තරුණියන්ගෙ විශාල යොමුවක්ද ඒ තුළ ඇතිවෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා වඩාත් පුළුල් ලෙස සෑදුණු Fiver වැනි අවකාශ නිසාම නිවෙසේ සිටම මෙහි නිරත වෙන්න අවස්ථාව තියෙනවා.

ලෝකයේ මේ වෙනකොට ග්‍රැෆික් නිර්මාණකරුවන් හට විශාල පිළිගැනීමක් තැනී තිබෙන නිසාම එහි තරගකාරීත්වයත් වැඩියි. එසේ ලෝකයේ මෙකී ක්‍ෂේත්‍රය සඳහා වඩාත් පිළිගැනීමක් සහිත රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය,  ඕස්ට්‍රේලියාව,  කැනඩාව,  එංගලන්තය වැනි රටවල් ප්‍රමුඛයි. ග්‍රැෆික් නිර්මාණය සැබවින්ම බහුකාර්ය ක්ෂේත්‍රයක් වන අතර තරුණ සහ අපේක්ෂා කරන නිර්මාණකරුවන් සඳහා තවමත් ප්‍රමාණවත් අවස්ථාද තියෙනවා. 

Multimedia Designer වඩාත් පොදු නිර්මාණ කාර්ය වන්නෙ මෙයයි.

• Web Designer
• Logo Designer
• Brand Identity Designer
• Flash Designer
• Creative/Art Director
• Photo Editing/Photoshop Artist
• Layout Artist

ඉහතින් අප දක්වා ඇත්තේ මේ වනවිට ලෝකයේ ග්‍රැෆික් නිර්මාණකරුවන්ට වඩාත් ඉල්ලුමක් පවතින අවස්ථායි. ග්‍රැෆික් යටතේ ඔබට පූර්ණ කාලීනව වෘත්තීයමය තත්ත්වෙකට රැකියාව රැගෙන යන්න හෝ අමතර ආදායම් ලබා ගැනීම සඳහාද මේ ක්ෂේත්‍රයට යොමු විය හැකියි.  එසේම ග්‍රැෆික් යටතේ කිනම් හෝ කාර්යයක් සඳහා පළපුරුද්ද ලබා තිබීම අනාගතයේ කෙදිනක හෝ වැදගත් වෙන බවද නොඅනුමානයි.

නමුත් ඒ සියල්ල පැමිණීම වගේම ඉල්ලුම තීරණය වන්නෙ නිර්මාණකරු විසින්  ඉදිරිපත් කළ යුතු හැකියාවන් මතයි. ග්‍රැෆික් නිර්මාණකරුවාද යම් ආකාරයකට කලාකරුවෙක්ද වෙනවා.  නමුත් මෙම කලාකරුවාගේ වගකීම වගේම විශිෂ්ටත්වයද වන්නේ  යම් නියත ප්‍රේක්ෂකයකු ග්‍රහණයටත් වඩා අහඹු පාරිභෝගිකයකු ආකර්ෂණය කළහැකි  විශිෂ්ට කෘතියක් නිර්මාණයයි. එසේම ආරම්භක ග්‍රැෆික් නිර්මාණකරුවකු සැලකිලිමත් වියයුතු දෑ පිළිබඳ Quora වෙබ් අඩවිය හා කරන සංවාදයකදී ප්‍රකට නිෂ්පාදන සැලසුම් කළමනාකරුවකු Product Design Manager වන Aryaman Mandhana පවසන්නේ නිර්මාණ මෘදුකාංග සඳහා  ඔබේ පුහුණුව දිගටම තබා ගන්නා ලෙස හා ඉගෙනීමට අවධානය යොදවන ලෙසයි.

 එසේම ඔහුගේ කතාවේදී

“ඔබ බැරෑරුම් නම් ඔබේ නිර්මාණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ඔබ කියවීම ආරම්භ කළ යුතුය. සෞන්දර්යය, මුද්‍රණ ශිල්පය, ජාල පද්ධති වර්ණ න්‍යාය සැලසුම් ක්‍රියාවලිය යනාදිය වැනි මාතෘකා පිළිබඳ හොඳ පොත් කියවන්න ගූගල් කරන්න.”

අනෙක් අතට ඔබ ඔබේ ඇඳීමේ කුසලතා වැඩි දියුණු කිරීම ආරම්භ කළ යුතුය යනුවෙනුත් පවසන්නේ ග්‍රැෆික් නිර්මාණකරුවකුට යාවත්කාලීන දැනුමක් අවශ්‍ය නිසායි.

එසේම තරුණ පරපුරේද ඉහළ නැඹුරුවක් සහිත Graphic ක්‍ෂේත්‍රයේ මේ වෙනකොට පොදුවේ ලංකාවෙ නිර්මාණකරුවන්ට තියෙන අභියෝග මොනවගේද වටහා ගතයුතු වෙනවා. එම අභියෝග ගැන පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙක් වගේම ෆ්‍රොන්ට් නිර්මාණකරුවෙක්ද වෙන පවන් අංජන පොත් කවර ක්‍ෂේත්‍ර ප්‍රමුඛව අලළා දක්වපු අදහස් තමයි පහතින් ගොනු කරලා තියෙන්නෙ.

“ලංකාවේ ග්‍රැෆික්වලට අලුතින්ම එන කෙනෙක්ට වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි design වලට පාවිච්චි කරන Adobe illustrator වගේ software{z original software එක මිලට ගන්න අපහසු එක. ඒ වගේම ලංකාවේ නිර්මාණවලට ලැබෙන වගේම අය කර ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් එක්ක ඒ වගේ software එකකට වාර්ෂිකව හරි මාසිකව හරි ගෙවල් අරන් නිර්මාණවලින් ලැබෙන මුදලින් ඒක කවර් කරන්න අමාරුයි. නමුත් පිටරට ගැනුම්කරුවන්ට Original software එකෙන්ම වැඩ කරන දෙන ඤඥඵඪඨදඥප ලා ඉන්නවා.

ඒ වගේම මේ ක්‍ෂේත්‍රයේ නියැළෙන අයගෙ වෘත්තීය භාවයක් සලකනනේනැති කම  මේක Job එකක් කියල සලකන්නෙනැතිකමත් එකක්. මොකද අපෙන් ග්‍රැෆික් ඉල්ලන ගොඩක් ගැනුම්කරුවො හිතන්නෙ කම්පියුටර් එකක් තිබ්බ පළියට Graphic කරන්න පුළුවන් කියලයි. ඇත්තටම ඒක එහෙම නෑ. Software එක දැනගත්ත කියලා designer කෙනෙක් වෙන එක ලේසි නෑ. සමහරු අපිට කියල නිර්මාණ කරව ගනිද්දි අපිටත් ඕක කර ගන්න නම් පුළුවන්කමක් තිබ්බා වගේ කතා කියන්නෙ අර මානසිකත්වය තියෙන නිසා. ඒ වගේම අලුතින් මේ වැඩවලට එකතු වෙන අයගෙත් මේ කියන සුළුකොට තැකීමේ මානසිකත්වය තියෙනවා.

ඒ වගෙම හොඳ Design එකක් කියවීම ගැන ලංකාවේ බහුතරේකම සාක්ෂරතාව මදිත් ඒ නිසාමයි. අපි පාරේ යනකොට දකින ගොඩක් ග්‍රැෆික් වැඩවල ගැළපෙන්නැති වර්ණ සංයෝජන ලොකු කරලා දාපු ෆ්‍රොන්ට් මිසක නිර්මාණ දකින්න බෑ. මෙන්න මේක නිසා තමයි මේ ක්‍ෂේත්‍රයට එනකොට Software පුහුණුවට වැඩියමක් නිර්මාණ ගැන දැනන් එන්න ඕනෙ. මොකද graphics කියන්නෙත් සාහිත්‍ය කලාව සියල්ල  එකතු වුණ සන්නිවේදන භාෂාවක්ම තමයි.)

පවන්ගෙ කතා බහත් සමඟ ග්‍රැෆික් ඉගෙනීම ගැන තියෙන යූටියුබ් නාළිකාවල thumbnail වලට තියෙන දාලා තියෙන සමහර පාඨත් සිහියට එළවනවා.

“විනාඩි 5න් graphic designer කෙනෙක් වෙන්න හෝ විනාඩි 5න් graphic art එකක් කරන්න පුළුවන්ද”

ස්තුතියි

සුභාෂිත ලක්මිණ