ඉන්න හිතෙන රටක් හදන බව කිව්ව අයට යන්න රටක්වත් නැති වුණා

0
17

‘ප්‍රංශ විප්ලවයක් තිබුණා. එයට ගොවියෝ ආවා. ඒ ගොවියෝ පාන් ඉල්ලුවා. ඉල්ලුවම කිව්වා කේක් කාපන් කියලා. ජනතාව බඩගින්නේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ යනවා රැජනගේ මළගමට. විපක්ෂයක් විදිහට අපි එය තරයේ හෙළා දකිනවා’ යැයි සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක, හිටපු ඇමැති විජිත් විජයමුනි සොයිසා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා)  පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.

“අද වේල් දෙක, වේල් තුන කාපු ජනතාව වේල් දෙකට බැහැලා. 2 කාපු අය එකට බැහැලා. එක වේලක් කාපු අය ඇල්වතුර වීදුරුවට වැටිලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. දරාගන්න බැරි විදිහට කොත්තුවක්, රයිස් එකක්, බනිස් ගෙඩියක්, ප්ලේන්ටියක් හැම දේකම මිල උපරිම විදිහට වැඩි වෙලා. මහා අසරණභාවයට ජනතාව පත්වෙලා. කවුද මේකට වගකියන්නේ. මේක අපේ රටේවත්, දේශපාලනයවත්, විපක්ෂයවත් කියන කතාවක් නෙමෙයි.

මෙතෙක් කල් ජිනීවා සමුළුවලදී කතා වුණු දේ තමයි මානව හිමිකම් පිළිබඳව. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන්ම ජිනීවා සමුළුවේදී අපේ රටේ මේ කරල තියෙන මූල්‍ය අපරාධය පිළිබඳව පැහැදිලිවම ප්‍රකාශයට පත්කර තිබෙනවා. රට බංකොලොත් රටක් බවට පත්වෙලා. දරාගත නොහැකි බඩුමිල සහ ජීවත්විය නොහැකි රටක් බවට මේ රට පත් වෙලා. මුලින් නම් කිව්වේ ඉන්න හිතෙන රටක් හදනවා කියලා. අන්තිමට එහෙම කියපු අයට යන්න රටක් හොයාගන්න බැරි වුණා. දැන් ඇවිත් ඉන්නවා. සන්තෝෂයි මහත්තයෝ ඔයා කරපු වින්නැහිය ලේසි පහසු දෙයක් නෙමෙයි.

මේ ආර්ථික අපරාධ පිළිබඳව මානව හිමිකම් කොමිසමේ usaid ආයතනයේ සමන්තා පවර්  මැතිනිය, ඒ වගේම ඇමරිකාවේ සෙනෙට් සභාවේ මන්ත්‍රිවරු යෝජනාවක් ගෙනල්ලා ආර්ථික අපරාධ කරපු අයට දඬුවම් දිය යුතුයි කිව්වාට ඒ අය නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි කියන මතය අද ලෝක ප්‍රජාව අතර ජාත්‍යන්තර වශයෙන් කතාවෙන මාතෘකාවක් බවට පත් වෙලා. මේකට චූදිතයන් නම් කරලා. ඒක තමයි විශේෂත්වය. ඒ අතර බැසිල්, ගෝඨා, ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් වැනි අය ඉන්නවා.

මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69ක ජනවරමක්, තුනෙන් දෙකක බලයක් ලැබිලා විසිවැනි සංශෝධනය සම්මත කරලා අසීමිත බලයක් ගත්තා. ඒ පාලනය තුළ තමයි අපේ රට මේ තත්ත්වයට පත් කළේ. අද ඔවුන් සැබෑ චූදිතයන් බවට පත්වෙලා. ඒ නිසා මේ චූදිතයන් ආරක්ෂා කිරීමට හා රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂය කියන ඒ වැදගත් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ඉදිරිපත් වෙලා. ඔහු අද ඒ රාජපක්ෂ පරපුරේ අනාගත ඔටුන්න හිමි කුමාරයාට පාර කපන තත්ත්වයට පත්වෙලා.

ඇමැති මණ්ඩලයක් පත් කළා. ඒ ඇමැතිවරු 37ට වරප්‍රසාද දීලා. ජනතාවට කන්න නැති වෙලාවේ භයානක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අද පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙක්, සිරකරුවෙක් බවට ජනාධිපති පත්වෙලා.

අද රටේ තත්ත්වය ගැන යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධාන වාර්තාවක් නිකුත් කරලා කියනවා මිලියන 6.7ක් පිළිගත හැකි සමබල ආහාර වේලක් ගන්නේ නැහැ කියලා. ඊළඟට මිලියන 3.4 ලෝක ආහාර වැඩසටහනට ඇතුළත් විය යුතුයි. ඒ අයට ආධාර ලබාදිය යුතුයි කියනවා. කුකුළු මස් 1600. මම ග්‍රාමීය ආර්ථික ඇමැති හැටියට එදා බිත්තරය රුපියල් 12ට උත්සව සමයේ සංගමය සමඟ සාකච්ඡා කරලා දුන්නා. එදා ඒ මාළු ටික ලාභ විදිහට දෙන්න කටයුතු කළා. අද මාළු ගැන කතා කරන්න බැහැ. මාළු කඩේට ගියාම අපේ මාළු කන්න හිතනවා.

අපේ නායකතුමා මීට අවුරුදු දෙකකට කලින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළා. නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අපට ඩොලර් තියෙනවා කිව්වා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම තවත් බරපතළ වරදක්.

දැන් ළමා මන්දපෝෂණය ගැන යුනිසෙෆ් ආයතනය කියනවා අපි 6 වැනි තැනට ඇවිල්ලා කියලා. ආසියාවේ දෙවැනි තැන. ඇෆ්ගනිස්තානය පළමුවැනි තැන. රනිල් වික්‍රමසිංහ අරගලයේ හිටපු තරුණයෝ බරපතළ විදිහට මර්දනයට ලක් කරනවා. ඒ අයගේ පින්තූර බල බලා අරගලය කරපු තරුණයන් මර්දනය කරලා කල්පනා කරනවා නම් අරගලය නවත්වන්න පුළුවන් කියලා ඒක විහිළුවක්.

අපි දන්නවා ප්‍රංශ  විප්ලවයක් තිබුණා. එයට ගොවියෝ ආවා. ඒ ගොවියෝ පාන් ඉල්ලුවා. ඉල්ලුවම කිව්වා කේක් කාපන් කියලා. ජනතාව අපි බඩගින්නෙ ඉන්නකොට ජනපති රනිල් වික්‍රමසිංහ යනවා රැජිනගේ මළගමට. විපක්‍ෂය විදිහට ඒ අපි එය තරයේ හෙළා දකිනවා.”

නිර්මාණි ගුණරත්න