අලුතින් පළවන පොත් 80%ක ව්‍යාකරණ – අක්‍ෂර වින්‍යාස දෝෂ පිරිලා

0
19

සාමාන්‍ය කාලයකට වඩා ජනතාව විවේකයෙන් සිටියත්, ඉකුත් වසර දෙකේදී පොතපත පළවී ඇත්තේ සාපේක්‍ෂව අඩුවෙන් යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංවදා වනිගසූරිය පවසයි. පළවන පොත් පත් අතරේද අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ දෝෂ සහිත පොතපත වැඩි යැයිද, සමස්තයක් ලෙස බැලූ විට අලුතින් පළකෙරෙන පොත පත අතුරින් සියයට අසූවක් පමණ එසේ ව්‍යාකරණ හා අක්‍ෂර වින්‍යාසයේ දෝෂ සහිතව නිකුත් වන්නේ යැයිද ආචාර්ය වනිගසූරිය කීවාය.

ඒ අතර කඩදාසි මිල වැඩිවීම, මුද්‍රණකරුවන් විසින් ගාස්තු වැඩි කිරීම, තීන්ත මිල වැඩිවීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට ලේඛකයන් හා ප්‍රකාශකයන් මුහුණදී සිටින්නේ යැයිද ඇය පැවැසුවාය.

පොතක් ප්‍රකාශයට පත්කිරීමේ වියදම සිවු ගුණයකින් පමණ වැඩි වී ඇතැයි පෙන්වා දුන් වනිගසූරිය මහත්මිය, ලේඛකයන් බහුතරයක් මුදල් අතේ ඇති පොහොසතුන් නොවන බැවින් පොත් ප්‍රකාශයට පත් කිරීම් දිනෙන් දින අඩුවෙමින් පවතින්නේ යැයිද කීවාය.

ලේඛකයන්ගේ ප්‍රශ්න මෙන්ම ප්‍රකාශකයන්ගේ ප්‍රශ්න පිළිබඳව බලධාරීන් අවධානය යොමුකළ යුතුව ඇතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විනීතා එම්. ගමගේ