අරගලය ඉල්ලූ වෙනසට දායක වෙන්න ජාතික ජන බලවේගය වටා ජනතාව රොක්වෙනවා

0
25

මේ පවතින දූෂිත සමාජ ක්‍රමය වෙනුවට ඇත්තම අභිමානයක් හා දැනෙන දියුණුවක් සහිත සමාජ ක්‍රමයක් ගොඩනැඟීමේ සමාජ පරිවර්තනයක් කිරීම ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව බව ජවිපෙ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (18දා) එක්වෙමිනි.

එහිදී අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය.

ඔබත් එක්ක අපි දිගින් දිගටම කතා කරමින් ඉන්නවා. අපේ ජීවිත කාලයේ මුහුණ දීපු දරුණුම අර්බුදයට තමයි අද අපි මුහුණ දීලා ඉන්නේ.

ලෝකයේ සාකච්ඡා කරනවා රටකට පැමිණිය හැකි ප්‍රධාන අර්බුද තුනක්.

සමාජ අර්බුද එනවා. දේශපාලන අර්බුද එනවා. ආර්ථික අර්බුද එනවා. ඕවා අපි ඉතිහාසයේ දැක්කේ එක පාරට එනවා නෙවෙයි. දැන් අපේ රට ගත්තත් යම් යම් මොහොතවල්වල ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුද ඇවිත් තියෙනවා. හැබැයි අප මේ ගත කරමින් ඉන්නේ එම අවස්ථාවන් තුනම එකවර පැමිණි වේලාවක.

මේ දැවැන්ත දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයක් ඇති වූයේ මොන ගර්භාශයකද?

ඇත්තටම ගත්තොත් 1948 ඉඳන් නිදහස ලබා වසර 74ක් පිරෙනවා. මේ දරුණු අසාධ්‍ය තත්ත්වයට රට පත් වුණේ අද ඊයේ නෙවෙයි.

ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ විතරක් කියන්න බෑ. මේ අසනීපය 1948 ඉඳන්ම තිබුණා. ඒක එක එක ආණ්ඩු වැඩි දියුණු කරලා අසාධ්‍ය තත්ත්වයට පත් කරපු පාලකයෝ තමයි මෛත්‍රිලා, ගෝඨාභයලා. දැන් රනිල් රාජපක්ෂලා එක් වෙලා. දැන් අසාධ්‍ය ලෙඩෙක් බඳු රටක් තමයි ඔබට අපට උරුම වෙලා තියෙන්නේ.

මෙන්න මේ අර්බුද නිර්මාණය කළ ගර්භාශ තමයි එක්සත් ජාතික පක්ෂ ගර්භාශය. නැත්නම් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ගර්භාශයේ තමයි මේක බිහිවුණේ. එහෙමත් නැත්නම් පොදුජන පෙරමුණ ගර්භාශ තුළ. දැන් ඒ හන්දා ඔය දේශපාලනය ගබ්සා කරන්න ඕනි. ඔය දේශපාලනය ඉවත් කරන්න ඕනි. අන්න ඒකට නැවුම් දේශපාලනයක් අවශ්‍යයි.

නව සමාජ පිබිදීමක් කරන්න අරගලය විසින් ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකක්, ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තමයි මේ රටේ විවිධ ප්‍රගතිශීලී කණ්ඩායම්, වාමාංශික පක්ෂ, එක්කහු කරලා දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජාතික ජන බලවේගය ගොඩනඟලා තියෙන්නේ.

ඔබලා දන්නවා මේ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කියලා. දැන් කාලෙක ඉඳන් සාකච්ඡාවක් තියෙනවා. සමහරුන් හිතනවා එවන් සර්වපාක්ෂික ආණ්ඩුවකින් මෙම ප්‍රශ්නය විස¼දාගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ රනිල් රාජපක්ෂ වටා රාජපක්ෂලාගේ එක්සත් ජාතික පක්ෂයේ, සජිත් පිලේ කට්ටිය එක්කහු වුණාම සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා කියලා. ඒ හැදෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. සර්ව චෞරයන්ගේ ආණ්ඩුවක්.

ජාතික ජන බලවේගය කියලා කියන්නේ ඔය අල්ලස්වලට ගත්ත, සල්ලිවලට, තනතුරුවලට ගත්ත ඇමැතිකම් දීලා හදා ගන්න ආණ්ඩුවක් වගේ නෙවෙයි. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට, සජිත් පිලට, රාජපක්ෂලාට ඡන්දය දීපු ජනතාව ජාතික ජන බලවේගය සමඟ එකතු වෙනවා.

ඒක සර්වපාක්ෂික එකතුවක්. මේ රටේ සියලුම පක්ෂ නියෝජනය කළ ජනතාව ඒ ඒ පක්ෂ අතහැරලා දැන් මේ රට ගොඩනඟා ගන්න පුළුවන්, සැබෑ වෙනසක් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය හැටියට ජාතික ජන බලවේගය තෝරා ගනිමින් සිටිනවා. අන්න ඒ එකතුවෙන් හදා ගන්නා බලයකින් තමයි මේ රට ගොඩනඟන්න පුළුවන් වෙන්නේ.

රනිල් එනකොට සමහරුන් විශ්වාස කළා රනිල්ට මේක ගොඩ දාන්න පුළුවන් කියලා. රනිල්ගේ ඉතිහාසය අමතක කළා. එයාට දැන් අවුරුදු 74ක්, 74න් 45ක් හිටියේ පාර්ලිමේන්තුවෙ. ඒ හතළිස් පහෙන් හය වාරයක් අගමැති, වැඩි වාරයක් ඇමැති, තව කාලයක් විපක්ෂ නායක එහෙම ඉඳලත් එයාට හදන්න බැරි වුණ රටක් එයා කොහොමද ගොඩ දාන්නේ යැයිද ඒ මහතා පැවැසීය.

ඒ නිසා අපි මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කය පුරා අෑත ගම්වල කොට්ඨාස සභා නමින් අපි සමිතියක් නිර්මාණය කරමින් ඉන්නවා. ලබන වසරේ මුල් කාර්තුව වනවිට බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි දැවැන්ත බලවේගයක් ගොඩනඟනවා.

ඒ සඳහා ඔබටත් අපටත් මේ වෙලාවේ විශාල කාර්යභාරයක් පැවැරිලා තිබෙනවා. 2022 වර්ෂයේ වුණාට දැන් රට තියෙන්නේ 1920 වගේ අෑතකට ගිය රටක්. සියලුම අංශවලින් පස්සට ගිහිල්ලා. රටේ ආගම් වාදය, ජාතිවාදය අවුස්සලා. ජාතික සමඟියත් පස්සට දාලා. අපි ජීවත් වන මේ රට ඉස්සරහට ගේන්න නම් ඔබට අපට සුවිශාල කාර්යභාරයක් කරන්න වෙලා තියෙනවා. අන්න ඒ සඳහා අපි කවුරුත් කටයුතු කළ යුතුව තිබෙනවා.

බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන