අතුරුදන් පේරාදෙණියේ සිසුවා සොයා මහවැලි ගඟේ කිමිඳුම් මෙහෙයුමක්

0
71

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන අංජන කුලතුංග (23) නමැති සිසුවා පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ මවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහුගේ මවුපියන් පේරාදෙණිය පොලිසියට මෙසේ පසුගියදා 18දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව මේ වනවිට විශේෂ කිමිදුම් කණ්ඩායමක් මහවැලි ගඟේ සිසුවාගේ සිරුර ඇත්දැයි සෙවීමේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.

16 වැනිදා සිට ඇමැතුම් ලබාගත් අවස්ථාවේ දුරකථනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා සිසුවාගේ මවුපියන් ඒ පිළිබඳව නවාතැන්පොළේ හිමිකරුට දැනුම්දී තිබේ.

සිසුවා නවාතැන්ගෙන සිටි පෞද්ගලික ස්ථානයක කාමර පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ මහවැලි ගඟට පැන සියදිවි නසා ගන්නා බව සඳහන් ලිපියක්ද පොලිසියට භාරදී ඇත.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ මවුපියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 16 වැනිදායින් පසු  මෙම සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ හිතවතුන් ද පවසා තිබේ.

අදාළ නවාතැන්පොළේ මෙම සිසුවා තනිව නවාතැන්ගෙන සිට තිබෙන බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රකාශකයකු මෙම සිසුවා මානසික ආතතියෙන් පෙළීම සම්බන්ධයෙන් කාලයක සිට ප්‍රතිකාර ලබාගෙන ඇති බව පැවැසීය. මීට සති කිහිපයකට පෙරද පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවෙක් මහවැලි ගඟට පැන සියදිවි නසා ගත් අතර එම සිසුවාද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.

මහනුවර – කේ.එල්. සුරවීර