දශක 7ක් බ්‍රිතාන්‍ය කිරුළ දැරූ දෙවන එලිසබෙත් රැජිණ අවසන් ගමන් යයි (PHOTOS)

0
369

දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය සාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙයෙන් පසු රාජකීය සොහොන් ගැබේ තැන්පත් කරනු ලැබීය.

දෙවියන්ට කැප කිරීමේ පූජාව සඳහා දේහය සාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත අද (සැප්. 19) පස්වරුවේ ගෙනවිත් තිබිණි.

රැජිණගේ පයිප් නලාකරු විසින් කරන ලද ආශීර්වාද වාදනයක් සහ ‘God Save the King’ ගීයේ පෙර වාදනයක් ද එහිදී සිදු විය.

වින්ඩ්සර්හි නලාකරුගේ මෙම ඉදිරිපත් කිරීම, රැජිණ විසින් සිය අවමංගල්‍යය සඳහා පෞද්ගලිකව ඉල්ලා සිටින ලද බව බකිංහැම් මාලිගය පවසා තිබිණි.

රැජිණගේ පාලන කාලයේ අවසානය සංකේතවත් කරන සම්ප්‍රදායන් ජෝර්ජ් දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙයට ඇතුළත් වූ අතර එහිදී රැජිණගේ දේහය මත තබා තිබූ ඉම්පීරියල් ස්ටේට් ඔටුන්න, ක්‍රිස්තියානි ලෝකය සංකේතවත් කරන කුරුසය සහිත ගෝලය සහ යෂ්ටිය, රාජ්‍ය ආභරණවල භාරකරු විසින් අවසාන වතාවට රැජිණගෙන් ඉවත් කරනු ලැබීය.

කැප කිරීමේ මෙහෙය අවසානයේ, රජු සහ රාජකීය පවුලේ සාමාජිකයෝ දේවස්ථානයෙන් පිටව ගියහ.

එරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට පවුලේ සාමාජිකයින් සහභාගි පමණක් දේව මෙහෙයකදී, සාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටි 6 වන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේදී රැජිණගේ දේහය ඇගේ නැසී ගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා අසලින් ම තැන්පත් කිරීමට නියමිත ය.

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වසර 70ක රාජ්‍ය පාලනය එතැන් සිට නිමාවනු ඇත.

බී.බී.සී. පුවත් සේවය සඳහන් කළේ, ඇගේ සොහොන මත පිහිටුවීමට නියමිත කිරිගරුඬ පුවරුවේ, ELIZABETH II 1926 – 2022 ලෙස කැටයම් කරනු ඇති බව ය.

වෙස්ට්මින්ස්ටර් ඇබේහි පැවති රාජ්‍ය අවමංගල්‍යය පූජෝත්සවයේ කටයුතු නිමා වීමෙන් අනතුරුව දෙවන එලිසබෙත් රැජිණගේ දේහය අද (සැප්. 19) පස්වරුවේ වෙලින්ග්ටන් ආච් වෙත තුවක්කු ප්‍රවාහන කරත්තයෙන් පා ගමනින් ගෙනවිත් එතැන් සිට වින්ඩ්සර් මාලිගය වෙත ගෙන එනු ලැබී ය.

ඉන් අනතුරුව දේහය දෙවියන්ට කැප කිරීමේ පූජාව සඳහා සාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන එනු ලැබිණි.

සාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බෞතිස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා නිතර තෝරා ගන්නා ස්ථානය යි. සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරිය 2018දී විවාහ වූයේ ත් එහි වන අතර, රැජිණගේ නැසී ගිය සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේ ද එහිදී ය.

දෙවන එලිසබෙත් රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය මීට වසර 60කට පෙර වින්ස්ටන් චර්චිල් වෙනුවෙන් පැවැත්වුණු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පසුව බ්‍රිතාන්‍ය අත්නුදුටු තරමේ හැඟීම්බර දිනයක් බවට පත් වූ යැයි බී.බී.සී. පුවත් සේවය වැඩිදුරට ත් සඳහන් කළේ ය.