“විනය පියවරවලට වඩා රටේ ප්‍රශ්නවලට මුල්තැන දෙනවා” – මෛත්‍රී

0
150

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ පිරිසට එරෙහිව පියවර ගන්නවාට වඩා රටේ පවතින ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ධූර ලබා ගත් පිරිසට එරෙහිව විනය පියවර ගැනීම පසෙක තබා ජනතාවගේ කුසගින්න හා ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි පියවර ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බව ද හෙතෙම කීය.

කොළඹදී ඊයේ (සැප්. 18) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේ ය.

රට පවතින තත්ත්වයේ අයුරින් රට ගොඩගැනීම මිස අන් කිසිවක් ම ප්‍රමුඛ කාරණා නොවන බව ද ඔහු අවධාරණය කළේ ය. ප්‍රධාන වශයෙන් ම ජනතාවගේ කුසගින්න, ජීවන තත්ත්වය, ආර්ථික අමාරුකම් සඳහා රටක් ලෙස එක්ව වැඩ කරන්නේ කෙසේ ද යන්න සියලු දෙනා ඉදිරියේ ඇති අභියෝගය බව ද හෙතෙම කීය.

ඒ සඳහා වැඩ කළ යුත්තේ කෙසේ ද යන්න විවිධ සංවිධාන, සිවිල් සංවිධාන, උගත් තරුණ පිරිස් විශාල සැලසුම් යෝජනා සකස් කොට රජයට ලබාදී ඇතැයි ද ඔහු පැවසීය.

තරුණ පිරිස්වල, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන්ගේ, ප්‍රවීණයන්ගේ අදහස් ගෙන රට මේ වැටී තිබෙන තැනින් ගොඩගැනීමට තම පක්ෂයට අවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේ ය. ඒ හැර වෙන කිසිවක් ප්‍රමුඛතා නොවන බව ද ඔහු කීය.