එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සිදු වන්නේ මෙහෙමයි (VIDEO)

0
177

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අද (සැප්. 19) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ, මහ රැජිණ සමුගන්නා මොහොතේ මිලියන ගණනකගේ හදවත් මොහොතකට නතරවනු ඇති බව ය.

එමෙන් ම, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අගනුවර වීදිවල රැදී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

චාල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ, තමාට සහ තම පවුලේ අයට ලැබුණු මහජන සහයෝගය තම හදවතට මහත් සේ දැනුණු බව ය.

ලෝක නායකයින් ද මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙරට වේලාවෙන් ප.ව. 3.00ට ඊට සහභාගි වීමට නියමිත ය.

තව ද අවමංගල්‍ය උත්සවය බී.බී.සී. හරහා ලොව පුරා රටවල් 200කට වැඩි සංඛ්‍යාවක සජීවීව විකාශය කිරීමට නියමිත ය.

ඒ අනුව, එය ජාතික රූපවාහිනිය ඔස්සේ ද අද (සැප්. 19) ප.ව. 3.00ට සජීවීව විකාශය කෙරේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය හේතුවෙන් අද දිනය ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ලෙස නම් කර ඇති අතර රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

මහ රැජිණගේ දේහය පළමුව වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ද ඉන් පසුව වින්ඩ්සර් කාසල් වෙත ගෙන යාමට නියමිත ය.

මහ රැජිණගේ රාජකීය අවමංගල්‍යය උත්සවය පිළිබඳ සජීවී තොරතුරු මෙතැනින් බලන්න…