යුක්‍රේනයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනා ගැන අලුත් ම හෙළිදරව්වක්

0
678

යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 6ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.

අද (සැප්. 19) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, ඔවුන් නීති විරෝධී ලෙස යුරෝපය කරා සංක්‍රමණය වීමට උත්සහ දැරූ පිරිසක් බවට දැනට ඇති වාර්තා අනුව හඳුනා ගෙන ඇති බව ය.

එසේ ම, ඔවුන් නැවත ලංකාවට පැමිණීමට කැමැත්තක් නොදක්වන බවට ද වාර්තා වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භයේදී ම යුක්‍රේනයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලු ම ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ය.

නැවත පැමිණීමට අකමැති පිරිස් බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම කළ නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

“මේ හත් දෙනා ත් දැනට තියෙන වාර්තාවලින් කියන්නේ, ඒ කට්ටිය එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. රජයක් හැටියට ඒ කට්ටියව බලෙන් ඉවත් කරගන්න අපිට හැකියාවක් නැහැ. මේ කට්ටිය ශිෂ්‍යයන් නෙවෙයි. දැනට තිබෙන වාර්තාවල තියෙන්නේ මේ කට්ටිය හොර ඒජන්ට් කෙනෙක් හරහා යුරෝපයට සංක්‍රමණය කරන්න උත්සහ දරපු පිරිසක්.”

යුක්‍රේනයේ කාර්කිව්හි මුදා ගත් ප්‍රදේශවල, මාර්තු මාසයේ සිට ආක්‍රමණිකයින් විසින් රඳවා ගනු ලැබ සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු බේරා ගත් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සැප්. 17 වන දා පැවසීය.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ (Kupyansk Medical College) සිසුන් 7 දෙනෙකු එලෙසෙ ගලවා ගත් බව ය.

මේ අතර, එම ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි යුක්‍රේන මාධ්‍ය අද (සැප්. 19) වාර්තා කළේ ය.

යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.

අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.

ඇය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බව ය.