සෘජු බදු ප්‍රතිශතය ඉහළ නංවමින් වක්‍ර බදු ප්‍රතිශතය  පහළ දැමිය යුතුයි

0
10

සෘජු බදු ප්‍රතිශතය ඉහළ නංවමින් වක්‍ර බදු ප්‍රතිශතය පහළ දැමීමට කටයුතු කළ යුතු බව වැඩ බලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

වැඩ බලන මුදල් අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඉකුත් සිකුරාදා (16දා) දින මුදල් අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීය.

වක්‍ර බදු ප්‍රතිශතය ඉහළ දැමීම සමෘද්ධි ලාභීන් තවදුරටත් අසීරු තත්ත්වයකට පත් කිරීමක් වන බවද ලක්ෂ 17ක් ඉක්මවූ සමෘද්ධි ලාභීන් සංඛ්‍යාවක් මෙරට සිටින බවද  වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ වනවිට රා අපනයනයෙන් රුපියල් බිලියන 4.2ක වාර්ෂික ආදායමක් උපයා ඇති බවද එම අපනයන ආදායම රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව තිබෙන බවද වැඩ බලන අමාත්‍යවරයා පැවැසීය.

නව අපනයනවලට යොමුවිය යුතු බවද සම්ප්‍රදායික රා කර්මාන්තය අපනයන මට්ටමට ගෙන ඒම මඟින් මෙරට ජාතික ආදායමට විශාල දායකත්වයක්  ලබාගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමේදී ඔවුන් මේ අවස්ථාවේ සිටින පීඩනයන් තේරුම් ගත යුතු බවද ඔවුන් සැවොම මේ වන විට පීඩනයට ලක්වී සිටින බවද රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ආදායම් ඉලක්ක ඉහළට ගත යුතු බවත් එසේ වුවද මෙරටට ආදායම් උපයා දෙන පිරිස පීඩනයට ලක් නොකර ආදායම් ඉලක්ක සපුරා ගත යුතු බවද වැඩ බලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

අමිල අබේරත්න