සජබ කෑගල්ල සංවිධායක 30 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

0
8

සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක කාර්යාලයේදී වෙඩි වැදීමකින් තරුණියක් ඝාතනය වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර ආසන සංවිධායකවරයා තවදුරටත් සැප්තැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉකුත් 16 වැනිදා නියෝග කළාය.

 රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටින සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ 62 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක නමැති දෙදරු පියෙකි.

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ආසන සංවිධායකවරයාගේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ සේවය කරන ලද කෑගල්ල හබුදුගල පදිංචිව සිටි අහංගම ආරච්චිගේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි තරුණිය ඉකුත් 01 පෙරවරුවේ එම කාර්යාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබිණි. පසුව ආසන සංවිධායකවරයා මරණය සම්බන්ධයෙන් තරුණියගේ බාල එකම සහෝදරයාට දන්වා සිටීමට නිවෙසට යන අවස්ථාවේදී කෑගල්ල නගරයේදී හමුවී ඇති සහෝදරයාට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා තිබිණි.

පසුව බාල සහෝදරයා 119 හදිසි දුරකථන අංකයට කරන ලද දැනුම් දීමකට අනුව කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ පක්ෂ කාර්යාලයට ගොස් මූලික විමර්ශන කටයුතු කර තිබේ.

අනතුරුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශනයක් කර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය මවට භාර දෙන ලෙසත් සැකකරුවෙක් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය.

පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජේ‍යෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්න මහතා කළේය. වෙඩි වැදීමක් නිසා මහා ධමනියේ ඇති වූ ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතුවීම නිසා ඇති වූ කම්පන තත්ත්වයකින් වූ මරණයක් බවට ලේඛකාධිකාරිවරයා පොලිසියට දන්වා තිබිණි. පක්ෂ කාර්යාලයේ සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ආසන සංවිධායකවරයා 02 වැනිදා කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඒ මහත්මිය නියෝග කළාය.

කෑගල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් වසන්ත කුමාර (36859) පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය. ඉකුත් 01 වැනිදා මෙම තරුණිය එම පක්ෂ කාර්යාලය තුළ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

දමුණුපොළ – චමින්ද ජයලත්,

උඳුගොඩ – ඒ. නරසිංහ