විනය පියවරවලට වඩා රටේ ප්‍රශ්නවලට මුල්තැන දෙනවා

0
154

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ පිරිසට එරෙහිව පියවර ගන්නවාට වඩා රටේ පවතින ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.  රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් පිරිසට එරෙහිව විනය පියවර ගැනීම පසෙක තබා ජනතාවගේ කුසගින්න හා ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි පියවර ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම කීය.

කොළඹදී ඊයේ (18දා) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය. රට පවතින තත්ත්වයේ අයුරින් රට ගොඩගැනීම මිස අන් කිසිවක්ම ප්‍රමුඛ කාරණා නොවන බවද ඔහු අවධාරණය කළේය.  ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ කුසගින්න, ජීවන තත්ත්වය, ආර්ථික අමාරුකම් සඳහා රටක් ලෙස එක්ව වැඩ කරන්නේ කෙසේද යන්න සියලු දෙනා ඉදිරියේ ඇති අභියෝගය බවද හෙතෙම කීය.

ඒ සඳහා වැඩ කළ යුත්තේ කෙසේද යන්න විවිධ සංවිධාන, සිවිල් සංවිධාන, උගත් තරුණ පිරිස් විශාල සැලසුම් යෝජනා සකස් කොට රජයට ලබාදී ඇතැයිද ඔහු පැවැසීය. තරුණ පිරිස්වල, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන්ගේ, ප්‍රවීණයන්ගේ අදහස් ගෙන රට මේ වැටී තිබෙන තැනින් ගොඩගැනීමට තම පක්ෂයට අවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය. ඒ හැර වෙන කිසිවක් ප්‍රමුඛතා නොවන බවද ඔහු කීය.

සවනි ශේශාධි