වැටුණහම නැවත නැගිටින්නේ කොහොමද කියලා දසුන් අපි හැමෝටම පෙන්නලා දුන්නා

0
26

ක්‍රිකට්, දැල්පන්දු ආසියානු කුසලාන දිනාගත් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීමේ උළෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය. ඒ අනුව එම උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට්, දැල්පන්දු කණ්ඩායම්වලට අමතරව පසුගියදා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද මෙහිදී උපහාරයට ලක්විය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පැරා අංශයේ කවපෙත්ත ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර මෙන්ම මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්වෙන් නෙත්මි අහිංසා, කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය යටතේ දිලංක ඉසුරු කුමාර යන ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද ඇගයීමට ලක්විය.

ඒ අනුව රිදී පදක්කම්ලාභියාට ක්‍රීඩා අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, ලෝකඩ පදක්කම්ලාභියකුට රුපියල් මිලියන 5ක්ද පිරිනැමුනු අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.

  එසේම දැල්පන්දු කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 2 බැගින්ද, පුහුණුකරුවන් දෙදෙනකුට සඳහා මිලියන 2 බැගින් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දක්වා තිබිණි. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්‍ෂා රෝහලට ඔෟෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් ලක්‍ෂ 5ක මුදලක් ලබාදීම මෙහිදී සිදුකෙරුණු අතර, එම පරිත්‍යාගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාට ලබා දුන්නේය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් වැන්නන්ගෙන් අපිට වැදගත් ආදර්ශයක් සපයා ඇති බවය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “ඔය සියලු දෙනාට තිබුණු අපහසුතාවයන් ගැන මට දැනගන්නා ලැබුණා. යළිත් එවැනි දේවල් නොවෙන අයුරින් කටයුතු කිරීම අප සියලු දෙනාගේම වගකීමක්. අපි යම්කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් 50%ක් කැපවෙලා බැහැ. ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැප විය යුතුයි. අපි පැරැදුනේ ඇෆ්ගනිස්තානයට. ඇෆ්ගනිස්තානයට පැරැදුනා කියලා, වැටුනා කියලා ක්‍රීඩාවෙන් අයින් වුණේ නැහැ. දසුන් ඒ පරාජය ප්‍රයෝජනයට ගත්තා වගේම ඒක ශක්තියක් කරගත්තා ඉදිරියට යන්න. මේක ක්‍රිකට් කණ්ඩායමට විතරක් නොවෙයි, දසුන් ඒකෙන් ශ්‍රී ලංකාවටත් උදාහරණයක් දීලා තියෙනවා.

අපි අද ඇෆ්ගනිස්තානයටත් වඩා වැටිලා තියෙනවා. සමහරු හිතනවා මේකෙන් ගොඩ එන්න බැහැ කියලා. දසුන් වගේ අපි හිතනවා නම් අපිට මේකෙන් ගොඩඑන්න පුළුවන්. දසුන් ඒකට හොඳම උදාහරණය ලබා දීලා තියෙනවා. ඒ වගේම දැල්පන්දු කණ්ඩායම හා මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අද ලෝකයේම ඉහළට යන්න පුලුවන් කියලා පෙන්නලා තියෙනවා. මේ ජයග්‍රහණය ඔබ සියලු දෙනාටම හිමියි. අපේ පරණ සිරිතක් වෙලා තිබුණා ජයග්‍රහණයේ කොටසක් දේශපාලනය ලබාගැනීම. අපි ඒක ඉවත් කරලා මේ සැරේ ලබාගත් ජයග්‍රහණ 200%ක් ඔබ සියලු දෙනාටම ලබා දෙනවා”

ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා, ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ යන මහත්වරුන් මෙන්ම දැල්පන්දු සංගමයේ සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මියද එක්ව සිටියහ.

ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

විචිත්‍ර වීරසිංහ