ලක්‍ෂ 2 1/2ක රන් බඩු – මුදල් කොල්ලකෑ සැකකරුට ඇප

0
9

රුපියල් දෙලක්ෂ පනස් දහසක් වටිනා රන් භාණ්ඩ හා මුදලින් රුපියල් පන් ලක්ෂ අසූ දෙදහසක් කොල්ලකෑමට සම්බන්ධ යැයි කියන සැකකරුවෙක් කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ගීතක ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසත් යළි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරිණි.

ඇප මත නිදහස් කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ තලේවෙල ඉහළ ග්‍රාමයේ පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයෙකි.

කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටින 47 හැවිරිදි පැමිණිලිකරු කලකට ඉහතදී උකස් තැබූ රන් භාණ්ඩ බේරා වැඩි මුදලක් ලබා දෙන බව දන්වා පුවත්පත්වල දැන්වීම් දමා ඇති බව පොලිසිය කියයි. මෙම දැන්වීමට කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයෙක් ඇමැතුමක් ගෙන දන්වා ඇත්තේ පංචායුධ 5ක් හා බේබි වළලු 2ක් කෑගල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට උකස් කර ඇති බවත් උකස් අරවා ගෙන මිලට ගන්නා ලෙසයි. පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයා ඉකුත් 07 වැනිදා කෑගල්ලට පැමිණ රන් භාණ්ඩ උකස් අරවා ගෙන තිබේ. පසුදා මහනුවර බලා තවත් වැඩකට යෑමට අවශ්‍යව ඇතැයි පවසා හිතවතාට කෑගල්ල නගරයෙන් කුලියට කාමරයක් සොයා දෙන ලෙස දන්වා තිබුණු බවත් පොලිසිය පැවැසීය.

පසුව හිතවතා ත්‍රිරෝද රථයකින් කෑගල්ල රංවල ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් කාමරයක් සොයා දී ඇත. එහිදී ඔවුන් මත්පැන් පානය කරන අවස්ථාවේදී තවත් දෙදෙනකුද එම ස්ථානයට පැමිණ ඇත. අඩු මිලට සියඹලාපිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ තොගයක් ඇති බව දන්වා ත්‍රිරෝද රථයෙන් සිවුදෙනාම කෑගල්ල සියඹලාපිටිය ප්‍රදේශයේ පාළු වත්තකට ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය. එහිදී පෝරුතොට ප්‍රදේශයේ සිට පැමිණ සිටි පැමිණිලිකාර පුද්ගලයා සතුව තිබුණු මුදලින් රුපියල් පන් ලක්ෂ අසූ දෙදහසක මුදලක් කොල්ලකා සෙසු තිදෙනා ත්‍රිරෝද රථයෙන් පලා ගොස් තිබේ. පසුව කොච්චිකඩේ පෝරුතොට ලිපිනයේ පදිංචිව සිටින අය කෑගල්ල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ලට අනුව සැකකරුවන් තිදෙනෙක් පොලිසිය මඟින් හඳුනාගෙන තිබුණු අතර එක් සැකකරුවෙක් 08 වැනිදා අත්අඩංගුවට ගෙන 09 වැනිදා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (19දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පවත්වන ලෙසත් පොලිසියට නියෝග කෙරිණි. පසුව තවත් සැකකරුවෙක් වන තලේවල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයකු ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන 17දා කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරිණි.

කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන දුරකථන ඇමැතුමක් දී පෝරුතොට ප්‍රදේශයේ පුද්ගලයා කෑගල්ලට ගෙන්වා ගෙන ඇතැයි කියන තරුණයා අතුරුදන්ව ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර, පොලිස් පරීක්ෂකවරුන් වන ආර්.ඩී.එන්. කරුණාතිලක ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් සම්පත් (64324), පොලිස් කොස්තාපල්වරුන් වන කළුගල්ල (61999), අනුරුද්ධ (85967), කපුකොටුව (29116) යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති.

දමුණුපොළ – චමින්ද ජයලත්