ලංකාව හෑල්ලුවට ගන්න එපා!

0
61

“ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය දැන් නිමාකොට තිබෙනවා. මෙවර සියයට දෙසීයක්ම ජයග්‍රහණයේ හිමිකම ඒ වෙනුවෙන් කැපවූ ක්‍රීඩක – ක්‍රීඩිකාවන්ටයි.” ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කතාව කියන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව සහ මෙවර ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරගත් ක්‍රීඩක – ක්‍රීඩිකාවන් ඇගැයීම සඳහා පැවැති උත්සවය අමතමිනි.

අප රට ලද ජයග්‍රහණ ආසියානු කලාපයට සීමා වුවද ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන ජයග්‍රහණ සඳහා පෙර සූදානමක් සේ මෙන්ම බලගතු ආත්ම ශක්තියක් ලෙසද සැලකිය හැකිය. මෙම ජයග්‍රහණයේ සුවිශේෂත්වය කියාපාන තවත් කාරණා කිහිපයකි. තවත් මසක් වැනි කෙටි කාලයක් තුළ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග වැදීමට අවස්ථාව සැලසී තිබේ. එහිදී මෙරට ක්‍රිකට් කණ්ඩායම දෙස සමස්ත ලෝකයාගේම ඇස යොමුවනු ඇත. ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම්වල සුපිරි ක්‍රීඩකයන් සිටිද්දී අප කණ්ඩායමෙහි වැඩි පිරිසක් අඩු අත්දැකීම් ඇති අය බව පිළිගැනීම වී තිබිණි.

තරගාවලියේ පළමුවැන්න කෝඩුකාර ඇෆ්ගනිස්තානුවන් හමුවෙහි පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායමේ මානසික ශක්තිය රැක ගැනීම පවා ගැටලුවක් වී තිබිණි. බිඳ වැටුණු මානසිකත්වය යළි ගොඩනංවා ගනුවස් ‘බෝට්ටු සවාරියක’ යෙදෙන්නට අපේ ක්‍රීඩකයෝ තීරණය කළහ. කෙසේ වෙතත් පළමු තරගයේදී පෙන්නුම් කළ දුර්වලතා අවබෝධ කොටගෙන ඒවා යළි නිවැරදි කරගන්නට කණ්ඩායම් නායක දසුන් ශානක තුළ පැවැති මෙහෙයුම් හැකියාව මෙහිදී කැපීපෙනුණි. අවසන් තරගය ඇස් අදහාගත නොහැකි විස්මය දනවන උදේ‍යාගිමත් අවස්ථාවක් බවට පත්වූයේ ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින්ය.

එමිරේට්ස් දේශයේ තණතීරු ප්‍රචලිතව ඇත්තේ දෙවැනිවර පන්දුවට පහර දෙන කණ්ඩායමට ජයග්‍රහණය ලබාගත හැකි තැනක් ලෙසින්ය. ඇෆ්ගනිස්තානය පන්දු යැවීම තෝරාගෙන තිබුණේ මේ අත්දැකීම් ගැන හොඳින් දැනගෙනය. දසුන් ශානක ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීමේ අවස්ථාව දුන්නේද ඒ අනුවය. පිතිහරඹයේදී මෙන්ම පන්දු යැවීමේදී එකිනෙකා එකිනෙකාට නොදෙවැනිව සිටි අතර අවසන් තරගයට එක්වනතුරුම කාසියේ වාසිය පෙරළුණේ දසුන්ගේ පැත්තටය. එහෙත් අවසන් තරගය ඒ වාසිය ප්‍රතිවාදී පිලට ගොස් තිබීම ජයග්‍රහණයේ අපේක්‍ෂාව බොඳවී යන තැනට මඟ හසර හෙළි කළ සංඥාවක් වී තිබිණි.

1996 ලෝක ශූර කණ්ඩායමේ නියමුවා වූ අර්ජුන රණතුංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික පිළිගැනීම් වෙනස් කොට තිබිණි. එක්දින ලෝක කුසලාන තරග පහකම ජයග්‍රහණය හිමිකොටගෙන තිබුණේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමය. කාසියේ වාසිය දිනා තිබියදී අර්ජුන සම්ප්‍රදායෙන් පිට පැන යම් වෙනසක් කළේය. දසුන්ට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඇත. ඔහුද ඉතිහාසය වෙනස් කළ ක්‍රීඩකයෙකි. පිටියේ ක්‍රීඩකයන් හැසිරවීමේදී ඔහු වඩාත් තීක්‍ෂණ නිරීක්‍ෂණයක යෙදෙනු පෙනිණි. ක්‍රිකට් ජයග්‍රහණ දේශපාලනයට අෑ¼දා ගැනීමේ දුර්විපාක ගැන හොඳින් අවබෝධ කරගෙන සිටින රනිල්, දසුන්ගේ ක්‍රිකට් නායකත්වය අගය කළේ තමනුත් කාලයක් පරාජයේ සාහසිකත්වයට මුහුණ දෙමින් ලද පීඩනය උපක්‍රමශීලී ජයග්‍රහණයකට හරවාගෙන සිටින අයුරු සිහිපත් කරගෙන විය යුතුය.

ක්‍රීඩා ජයග්‍රහණයේ කොටසක් නොව සමස්තයම දේශපාලනයට අෑ¼දාගත් අය මේ රටේද සිටිති. වෙනත් රටවලද සිටිති. පාකිස්තානයේ ඉම්රාන් ඛාන් එරට රාජ්‍ය නායකයා වී සිටියේය. අපේ කොල්ලන්ගේ වැඩ කිඩ හමුවෙහි සල්ලම් වුණේ එහෙම රටක ක්‍රිකට් කණ්ඩායමකි. පාකිස්තාන පිලේ හිටපු නායක වසීම් අක්‍රම් ජයග්‍රාහී දිනයේ විස්තර විචාරක කුටියට වී අදහස් පළ කරමින් මෙසේ කියනු ඇසිණි. “පාකිස්තානය කුසලානයට ජනප්‍රියම කණ්ඩායම. ඒත් ලංකාව හෑල්ලුවට ගන්න එපා!” අක්‍රම් කීවා වගේම ලංකාව හෑල්ලුවට ගන්නට අපේ කට්ටිය ඉඩ තැබුවේ නැත. පිටියේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නට ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේය.

දේශපාලන පොරපිටියත් ක්‍රිකට් ක්‍රීඩා පිටියත් එකක් නොව දෙකකි. එහෙත් මේ දෙතැනෙහිම පරාජය මෙන්ම ජයග්‍රහණයද එකසේ බෙදා හදා ගන්නට සිදුවෙයි. දෙපිලක සටනින් දෙපිලටම දිනන්නට පුළුවන්කමක් නැත. එහෙත් අවශ්‍ය නම් දෙපිලටම එකට එක්වී වැඩ කරගෙන යන්නට බැරිකමක් නැත. දේශපාලන පොර පිටියේ එහෙම දේවල් සිදුවනු තබා ඒ ගැන කතිකාවක්වත් ගොඩනැඟෙන්නේ නැත. ක්‍රීඩා ලෝකයේ ජයග්‍රහණ ගැන යළි යළි උදම් අනමින් සතුටින් අභිමානයෙන් කතාබහ කරන්නට අපට හැකිකම ඇත. එහෙත් දේශපාලන ලෝකයේ ඇතැම් ජයග්‍රහණ ගැන අද අපට පසුතැවෙන්නට සිදුවී තිබේ. හේතුව ජයග්‍රහණය පාදක කොටගෙන ජනතා අපේක්‍ෂා ඉටුවන තැනට මඟපෑදීමක් සිදුනොවීමය.

පරාජයෙන් පාඩම් ඉගෙන ගන්නට නොසිතීම නිසාම, ජයග්‍රහණය අත්පත් කර ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. වර්තමාන දේශපාලන භූමියෙහි පවතින මෙම දුබලතාව අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත්, නෙට්බෝල් කණ්ඩායමත් මවුබිමෙහි ආචාරයට පාත්‍ර වෙයි. මේ කතුවැකිය එම කණ්ඩායම් දෙක ධෛර්යවත් කරනු පිණිසය. හෙට දවසේත් ඔවුන්ගේ ජයග්‍රහණයේ අභිලාෂ මුදුන්පත් කරලනු පිණිසය.